ඇනිටා පෙහෙලිකල, ඔබාමා දිනාගත් කළු රුහිරේ යටපත්නොවූ අභිමානය

72 mins read

සුදු ජාතිකයන්ගේ වර්ණභේදවාදයට අතුල් පහරක් එල්ල කළ කළු සම්භවයක් සහිත සුරුපිණිය “ඇනීටා”….

ඇය නමින් “ඇනීටා ෆ්ලොරන්ස් හෙමින්ග්ස් ” (Anita Florence Hemmings) විය.1872 ජුනි මස 08 වන දින ඇමෙරිකාවේ මැසචුසෙට් ප්රාන්තයේ බොස්ටන් නගරයේ දී උපත ලබා ඇත.ඇයගේ පියා රොබර්ට් විලියම්සන් වූ අතර වෘත්තීයෙන් සනීපාරක්ෂක කම්කරුවෙකු විය.මව ඩෝරා ලෝගන් වූ අතර ඇය ගෘහ සේවිකාවක් ලෙස සේවය කොට ඇත.මෙම දෙපළම වහල් දෙමව්පියන්ගේ දරුවන් වුවා පමණක් නොව තමන් “මුලාටෝස් ” (mulattoes ) ජන වර්ගයට (එනම් මාපියන්ගෙන් එක් අයෙකු යුරෝපීය ජාතිකයෙකු සහ අනෙකා කළු සම්භවයක් ඇත්තෙකු වීමෙන් උපත ලද ජන වර්ගය) අයත් බවද ඔවුන් විසින්ම ඔවුන්ව හඳුන්වා දී ඇත.
හෙමින්ග්ස් පවුල බොස්ටන් නුවර සසෙක්ස් වීදියේ අංක 09 දරණ ස්ථානයේ (එම පළාතට 1940 – 1950 කාලයේදී විශාල වශයෙන් සංක්රමණය වූ අප්රිකානු-ඇමෙරිකානු මිශ්ර ජනතාව වාසය කළ ප්රදේශයකි) පදිංචිව සිටියෝය.අවමන්කාරී පරිසරයක ජීවත් වූ මාපිය යුවළ එවන් අභියෝග මැද වුවද තම දරුවන් සතර දෙනා ඉහළ තැන්වල වැජඹෙනු දකින රිසියෙන් කටයුතු කළ දිරියවන්ත දේපලක් විය.ඒ අනුව ඔවුන්ගේ එක් පුත්රයෙකු වූ ෆෙඩ්රික් හෙමින්ග්ස් (Frederick Hemmings) මැසචුසෙට් තාක්ෂණ ආයතනයට ඇතුලත් කොට ඔහුට උපාධිය ලබාගැනීම දක්වා උනන්දු කරවීමට ඔවුන් සමත් විය.ඔහුට තමා කළු ජාතිකයකු වීම එම ආයතනයේ ඉගැනීමට කිසිවිටෙකත් බාධාවක් නොවූ අතර කිසිවෙකුගෙන් වසන් කිරීමට අවශ්ය නොවුයේ එහි සිටි සියලුම දෙනා ෆෙඩ්රික් කළු ජාතිකයෙකු බව දැන සිටි බැවිනි.
හෙමින්ග්ස් යුවළට තම දියණියක් වූ මෙම සිද්ධියට මුහුණ පෑ අප කතා නායිකාව වන ඇනීටා ඇමෙරිකාවේ ප්රසිද්ධ පුද්ගලික විශ්ව විද්යාලයක් වූ “වෑසර්” (Vassar College) විද්යාලයට ඇතුලත් කරගැනීම එක් සිහිනයක් විය.ඒ මෙම විද්යාලය සඳහා කළු සම්භවයක් සහිත සිසුන් බඳවාගැනීම බිංදුවේ පවතී හෙයිනි.ෆෙඩ්රික් හට ඇරුණු දොර ඇනීටාහට පහසුවෙන් නොඇරෙන බව දත් දෙමව්පියන් ඒ සඳහා උපක්රමයක් සැලසුම් කරන්නට තීරණය කළහ.
 “වෑසර්” කාන්තා (Vassar College) විද්යාලය.
නිව්යෝර්ක් නගරයේ පිහිටි පුද්ගලික අධ්යාපන ආයතනයක් වන මෙය ආරම්භ කර ඇත්තේ 1861 වර්ෂයේ දී මැතිව් වෑසර් (Matthew Vassar) නම් පුද්ගලයා විසිනි.එය ඇමෙරිකාවේ කාන්තාවන් සඳහා උපාධි පිරිනමන උසස් අධ්යාපන ආයතන අතරින් දෙවන තැන හිමිකරගත් අතර මිශ්ර අධ්යාපන ක්රමය ආරම්භ කරනු ලැබුවේ 1969 වසරේ දී ය.එකල උසස් අධ්යාපනය කාන්තාවන්හට ලබාදීම සඳහා ආරම්භ කළ අයිවී ලීගයට (Ivy League) අයත් සහෝදරියන් සත්දෙනාගේ පාසල් සමුහයේ ( Seven Sisters colleges) දෙවන පාසල මෙය විය.වර්තමානය වන විට මෙහි පිරිම සිසුන් අධ්යාපනය ලැබුවද ආරම්භයේදී එසේ නොවූ අතර කාන්තා සිසුවියන් පමණක් අධ්යාපනය ලැබුහ.අක්කර දාහක් පුරා පැතිරුණු ගොඩනැගිලි 100 කින් පමණ සමන්විත ගොතික් සම්ප්රදායට අනුව ගොඩනගා ඇති ලොව අති විශිෂ්ඨ උසස් අධ්යාපන ආයතනයක් වන මෙහි උපාධිය පිරිනමනු ලබන්නේ ඇමෙරිකන් රජයේ මැදිහත්වීමෙනි.
හෙමින්ග්ස් පවුල ඇනීටා සුදු කාන්තා සිසුවියක් ලෙසට වෙස්මාරු කිරීමට තීරණය කිරීම .
හෙමින්ග්ස් පවුල කෙසේ හෝ තම දියණිය උක්ත වෑසර් විද්යාලය වෙත ඇතුලත් කිරීමට උත්සාහ කළමුත් ඒ වනවිට පවතී කළු සම්භවයක් සහිත අයවලුන් සඳහා එයට ඇතුළත්වීම අවසර නොමැති වීම එයට බාධාවක් විය.එහෙත් ඔවුන් එයින් නොසැලී දැඩි තීරණයකට එළඹුණු අතර ඒ අනුව තම දියණිය සුදු ජාතික සිසුවියක් ලෙසට ඇතුලත් කිරීමට තීරණය කළහ.ඒ අනුව 1893 වර්ෂයේ දී තම දියණිය විද්යාලයට ඇතුලත් කළමුත් තොරතුරු සැපයීමේදී එක් දෙයක් වසන් කිරීමට කටයුතු කලෝය.ඒ තම දරුවා අප්රිකානු – ඇමෙරිකානු මිශ්ර සම්භවයක් ඇති අයෙකු ලෙසට නොදැක්වීමට වගබලා ගත් අතර ඒ වෙනුවට ප්රංශ – ඉංග්රීසි පසුබිමක් සහිත දරුවකු බවට තොරතුරු සපයා කෙසේ හෝ විද්යාලයට ඇතුලත් කරගැනීමට සමත් විය.
විද්යාලය තුල දක්ෂ සිසුවියක් බවට ඇනීටා පත්වීම.
ඇනීටා විද්යාලයේ අධ්යාපන කටයුතු වල මනාව නිරතවීම හේතුවෙන් ඉතා දක්ෂ සිසුවියක ලෙසට ආචාර්ය මණ්ඩලයේ මෙන්ම සහෝදර සිසුවියන් අතරද ප්රසිද්ධ වුවා පමණක් නොව කාගේත් සිත් දිනාගෙන කටයුතු කිරීමට සමත් විය.කළු සම්භවයක් සහිත වුවත් එය කිසිවෙකු හට අනාවරණය කර ගත නොහැකි වුයේ ඇයගේ හැසිරීම ඉතා උසස්,වංශවත් පවුලකින් පැවත එන කාන්තාවකගේ සියලු ගුණාංග ප්රකට කළ බැවිනි.එසේම ඈ සතු රූප සම්පත්තිය සියල්ලන්ගේ අවධානය දිනාගැනීමට බෙහෙවින් බලපෑ කරුණක් විය.ඇයගේ යෙහෙලියක් වරෙක පවසා තිබුනේ ඇයගේ සම ඔලිව් පැහැය ගන්නා බවත්, හිසකෙස් මෙන්ම දෙනෙත් පවා ඉතා තද කළු වර්ණයෙන් යුත් බවත් විද්යාලයේ ඉගෙනුම ලැබූ රුමත්ම සිසුවිය ඇය බවත්ය.මෙසේ ඇය සිය අධ්යාපන කටයුතු වල සාර්ථකව නියැලෙන අතරතුරම සාමාජීය කටයුතු සඳහා ද නොමසුරු දායකත්වය ලබාදීමට කටයුතු කළාය.මීට අමතරව ලතින්,ප්රංශ,පුරාතන ග්රීක ඇතුළු භාෂා හතක් භාවිතා කිරීමේ හැකියාවට අමතරව විදුහලේ ගීතිකා කණ්ඩායමේ ද,විවාද කණ්ඩායමේ මෙන්ම සාහිත්ය සංගමයේ ද සාමාජිකාවක වුවාය.එසේම ඇයට උපතින්ම වාගේ හිමිව තිබු තාරතමය ස්වරය (soprano) මත පළාතේ තිබු සියලු දේවස්ථාන වෙතින් ගීත ගායනය සඳහා නිරතුරුවම ආරාධනා ලැබින.
සැකයේ උකුසු ඇස් ඇනිටා වෙත යොමුවීම.
මෙසේ කාලයක් ගතවූ අතර පාසැලේ ඇය ඉගෙනුම ලබන 03 වන අවුරුද්දේ දී ඇනිටාගේ පවුල් පසුබිම සහ වංශය පිළිබඳව යම් යම් කසු කුසුවක් විද්යාලයේ පිරිස් අතර පැතිරී යන්නට පටන් ගත්තේය.මේ සඳහා මුලිකවම බලපෑ සාධකය වුයේ ඇගේ උපාධිය සම්පුර්ණ කළ පෙඩ්රික් නම් වූ සහෝදරයා විය.වරෙක ඔහු තම සහෝදරිය ඉගෙනුම ලබන පාසල වෙත පැමිණි අතර මෙය ඇනිටාගේ නිහතමානී ආඩම්බරයට හේතුවිය.නමුත් ඔහුගේ සමේ වර්ණය ඇනිටාගේ මෙන් සුදු පැහැයක් නොගත් අතර යම්දුරකට අඳුරු පැහැයක් ගත්තේය.එසේම ඔහුගේ උපාධි ප්රදානොත්සවයේ දී ලබාගෙන තිබු සමුහ ජායාරුපයක් (ෆෙඩ්රික් පමණකි MIT ආයතනයේ අධ්යාපනය ලැබූ එකම අප්රිකානු-ඇමෙරිකානු සම්භවයක් සහිත සිසුවා වුයේ) නැරඹු ඇනිටාගේ පාසැලේ එකට අධ්යාපනය ලබන සිසුන්හට අනෙකුත් සිසුන්ගේ සමේ පැහැයට වඩා ෆෙඩ්රික්ගේ සමේ පැහැය අඳුරු බවට නිරීක්ෂණය විය.මේ අනුව සමහරක් සිසුහු එකිනෙකා හමුවූ විට මේ පිළිබඳව කතා කරන්නට වුවා පමණක් නොව ඇය ඉන්දිය සම්භවයක් සහිත කාන්තාවක් බවට ද මත පළකළහ.අවසානයේදී ඇනිටා සමග එකම නේවාසිකාගාරයේ නැවතී සිටි සිසුවිය ඇයගේ සැබෑ ස්වරුපය හෙළි කරගැනීමට සමත් විය.ඒ අනුව එම මිතුරිය මේ පිළිබඳව තම පියා වෙත සැලකිරීමෙන් පසුව ඔහු ඇනිටා සහ ඇයගේ පවුලේ සියලු තොරතුරු සෙවීමට පෞද්ගලික රහස් පරීක්ෂකයෙකු යෙදවීය.විස්තර සොයාගැනීම එතරම් දුෂ්කර නොවූ අතර ඇනිටාගේ දෙමව්පියන් ද කිසිදු පැකිලීමකින් තොරව තමන් අප්රිකානු – ඇමෙරිකානු සම්භවයක් සහිත වහල් පවුලකට අයත් බව පිළිගත්හ.ඒ සමගම පුවත්පත් මේ සිද්ධිය වාර්තා කිරීමත් සමගම සියල්ල හෙළිදරව් විය.
උපාධිය සම්පුර්ණ කිරීමට දින කිහිපයක් තිබියදී පහත් වූ මෙම හෙන ගෙඩිය මගින් ඇනිටාගේ සියලු රහස් හෙළිවීමත් සමගම උපාධිය ලබාගැනීමට එම තොරතුරු බාධාවක් වීමට ඉඩ ඇති බැවින් මහත් කම්පාවට පත්වුයේ ඇනිටා පමණක් නොවේ.ඇය සමීප වශයෙන් ආශ්රය කළ සිසුවියන් ද,ආචාර්ය මණ්ඩලය ද එසේ කම්පාවට පත් අනෙක් පිරිස විය.වසර ගණනක් තුල සිදු කළ කැපකිරීම්,සමාර්ථයන් මෙසේ ජාතියක් පදනම් කොටගෙන අහිමි කිරීමට යෑම ඇයට තවදුරටත් ඉවසා දරා ගත නොහැකි විය.මෙය කනවැකුණු සැනින් එක් මහාචාර්යවරියක වහා ඇනිටාගේ අයිතිවාසිකම් වෙනුවන් ඉදිරිපත්විය.ජාතියක් පදනම් කොටගෙන අයෙකුගේ ජීවිතයේ දී ලබාගත හැකිව තිබු ස්වර්ණමය අවස්ථාවක් අහිමි කිරීමට ඇය විරුද්ධ වුවාය.පසුව ඇනිටා විද්යාලීය එවකට සභාපතිවරයා වූ “ජේම්ස් මොන්රියෝ ටේලර් ” (James Monroe Taylor) හමුවී තමාට මෙම අවස්ථාව අහිමි නොකරන ලෙසට ආයාචනාවක් ද කලාය.
සියලු බාධක පරදා උපාධිය ලබාගැනීම
වහ වහා සභාපතිවරයා විසින් රහස් සාකච්චාවක් අනෙකුත් ආචාර්ය මණ්ඩලය සමග පැවැත්වූ අතර එහි අවසන් තීරණය වුයේ ඇනිටා හට ද ඇයගේ සහෝදර සිසුවියන් හට මෙන්ම උපාධිය හිමිකර දිය යුතු බවටයි.අවසානයේදී සතුටු කඳුළු මැද 100 කට වඩා සිසුවියන් කණ්ඩායමකින් යුත් 97 වන කණ්ඩායමේ උපාධි ප්රදානොත්සවයේදී ඇනිටා සියල්ලන්ගේ දැඩි හරසර මැද්දේ තම උපාධිය ලබාගත්තේය.එසේම පුදුමයට කරුණක් වුයේ උපාධි ප්රදානොත්සව ප්රකාශනයේ කිසිදු තැනක ඇයගේ ජාතිය පිළිබඳව සඳහන් නොකර තිබීමය.
උපාධියෙන් පසුව ඇනිටාගේ ජීවිතය
ආරක්ෂිතව තම උපාධිය ලබාගත් ඇනිටා බොස්ටන්හි මහජන පුස්තකාලයේ පරිවර්තන සහ ග්රන්ථ නාමාවලිකරන කටයුතු සඳහා රැකියාව ලැබීය.එසේම විද්යාලීය කටයුතු නිමකර නැවතත් තම උපන් ගම වන බොස්ටන් වෙත ගිය ඇනිටා තමාගේ සම්භවය පිළිබඳව සැඟවීමක් සිදුකිරීමට කිසිදු උත්සහයක් නොකලාය.1903 දී ඇනිටා සේවය කළ පුස්තකාලයේ දී හමුව පසුව වෛද්යවරයෙකු වූ ඇන්ඩ්රු ජැක්සන් ලව් (Dr. Andrew Jackson Love) සමග විවාහ ගිවිසගත් අතර උසස් ධනවතුන් අතර මහත් ප්රසිද්ධියක් ලබාගත් ඔහු හා ඇනිටා ප්රභූ සමාජයේ කැපී පෙනෙන ලෙස කාගේත් පිළිගැනීම් මැද ජීවත් වුහ.මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණ නම් ඇනිටා මෙන්ම සිය සැමියා ද තම සම්භවය සඟවාගෙන වෛද්ය උපාධිය ලබාගත් අයෙකු වීම බවය.
සුදු ජාතිකයන් ලෙස පෙනී සිටීමට සිදුවූ පසුබිම
19 වන සියවස් අගභාගයේ සිට 1950 දක්වා කාලය තුල දී කළු සම්භවයක් සහිත පිරිස මෙසේ සුදු ජාතිකයන් ලෙස පෙනී සිටීමට හේතු වූ කරුණ ලෙස දැක්විය හැක්කේ එදා ඇමෙරිකන් සමාජයේ තදින්ම ක්රියාත්මක වූ කළු ජාතික විරෝධයයි.යම් අයෙකු කළු සම්භවයක් සහිත අයෙකු ලෙසට ඔප්පු වීනම් ඇයට හෝ ඔහුට අධ්යාපනයේ සිට බොහෝ වරප්රසාදයන් හිමිකරගැනීමේ මං අවහිර වේ.මෙම තත්ත්වය මත බොහෝ කළු සම්භවයක් සහිත පුද්ගලයන් අතිශය වේදනාකාරී මානසික තත්ත්වයන් යටතේ තම පවුලේ සම්බන්ධතා ලොවට වසන් කරමින් සුදු ජාතිකයන් ලෙසට ව්යාජ රංගනයක යෙදුනහ.මේ තත්ත්වය යටතේ ඇන්ඩ්රු යුවළ පසු කාලයක ඉහත වර්නභේදවාදයට එරෙහිව රහසේ දැඩි සටනක් දියත් කලෝය.
දෙවන පරම්පරාව ද සුදු ජාතිකයන් ලෙසට පෙනී සිටීම
ඇන්ඩ්රු යුවළට දාව 1905 දී දියණියක් උපත ලැබූ අතර ඇය එලන් නම් විය.තම මිත්තනිය හමුවන තෙක් ඇය කළු සම්භවයක් සහිත අයෙකු ලෙස නොදැන සිටිමුත් පසුව සියලු විස්තර දෙමව්පියන් මාර්ගයෙන් දැනගත්තාය.බොහෝ දෙමව්පියන්හට මෙන්ම එලන්ගේ දෙමව්පියන් හටද තම දරුවා උසස් පාසැලකට ඇතුලත් කරගැනීමේ දැඩි උවමනාවක් තිබු අතර ඔවුන් උත්සාහ කරන ලද්දේ ඇනිටා අධ්යාපනය ලැබූ වෑසර් විද්යාලයට සිය දියණිය ඇතුලත් කරගැනීමටය.1920 දී තම මව මෙන්ම සුදු ජාතික සිසුවියක ලෙසට පෙනී සිටිමින් තම අධ්යාපන කටයුතු සාර්ථකව සිදුකලාය.
ඇනිටාගේ අතීත නේවාසික මිතුරිය නැවත අවි අමෝරා ගැනීම
සත්ය වශයෙන්ම විශ්වාශ කළනොහැකි වුවද එය එසේ සිදුවිය.වසර 25 කට පෙර ඇනිටා සමග එකම නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටි යෙහෙළිය වෙත මෙම අලුත්ම තත්ත්වය ආරංචි වී වහ වහා කලබල විය.අතීතයේ තමාට විඳින්නට සිදුවූ අවමානයෙන් පලිගැනීමට සිතාගත් ඇය වහාම ඇනිටාගේ දියණිය සුදු ජාතික සිසුවියක් පෙනී සිටිමින් ව්යාජ රංගනයක යෙදෙන බවට ලිපියක් මගින් වෑසර් විද්යාලයේ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කලාය.නමුත් එවකට සභාපතිව සිටි හෙන්රි නොබ්ල් මෙය ප්රතික්ෂේප කරන ලදුව හෙලන් සිය උපාධිය 1927 සම්පුර්ණ කලාය.
රහස පරම්පරා කිහිපයක් තිස්සේ පැවතීම
ජිල් සිම් (Jill Sim) එනම් ඇනිටාගේ මිනිපිරිය තම මව වූ හෙලන් 1994 දී මිය යනතෙක්ම තමන්ගේ සම්භවය පිළිබඳව දැනුවත්ව නොසිටියාය.ඇනිටා සහ හෙලන් ජිල් සමග ඉතා සමීපයෙන් ඇසුරු කලද කිසිවිටෙක මෙකී රහස හෙළි නොකිරීමට වගබලාගත්තාය.එය හෙළිවූ පසුව සතුටු සිතින් යුතුව පවසා සිටිනු ලැබුවේ “මා සතුව ඇත්තේ රතු පැහැයට හුරු දුඹුරු කෙස් වැටියක්.එය කෙතරම් අපුරු ද ?මාගේ දෙනෙත් නිලපැහැයෙන් යුතුයි.ඔබට මාගේ දීප්තියෙන් අඩු කහ පැහැයට හුරු සම යටින් දිවෙන නිල් පැහැයට හුරු නහර දැකගත හැකියි.මා දැඩිව ප්රතික්ෂේප කරනවා කළු සම්භවය කොන් කිරීම” යනුවෙනි.
“එක් බිඳුවක් හෙලීමේ” (The “One Drop” Rule) නීතිය
බැරක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත් වූ විට ලොව බොහෝ පිරිස් ඔහු ඇමෙරිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා ලෙස හඳුන්වනු ලැබූ නමුත් එය නිවැරදි නොවේ.ඔහුද අර්ධ වශයෙන් සුදු ජාතිකයෙකු විය.නමුත් ඔබාමා මෙන්ම ජිල් වැන්නවුන් අර්ධයක් සුදු වුවද කළු ජාතිකයන් ලෙස හැඳින්වීමට කටයුතූ කරන්නේ මන්දැයි කෙනෙකුට ගැටලුවක් ඇතිවිය හැක.එයට හේතුවක් තිබේ.ඒ පිළිබඳව පැහැදිලි කරන විශ්රාමලත් ඉලිනියෝස් සරසවියේ සමාජ විද්යා අංශයේ මහාචාර්යවරයෙකු වන ජේම්ස් ඩේවිස් පවසා සිටිනුයේ “මෙයට හේතුව දකුණු ඇමෙරිකාවේ අතීතයේ සිදුවූ වහල් වෙළෙඳාම සහ වහල් මෙහෙය නිසා සිදුවූ සිද්ධීන් මත හඳුන්වා දුන් “ජිම් ක්රෝ” (Jim Crow system – 1877 දී ඇමෙරිකන් ශ්රේෂ්ඨාධිකරණය පනවනු ලැබූ කළු ජාතිකයන් සඳහා වූ විශේෂිත නීති රීති මාළාව) ක්රමය මගින් ඇතිකළ තත්ත්වයක් මත මෙය සිදුවූ බවය.එසේම එම නීතිය මගින් පැහැදිලි කර ඇත්තේ යම් කළු – සුදු මිශ්ර ජාතිකයෙකු වුව ද යම්හෙයකින් තමාගේ ශරීරයේ එක් රුධිර බිඳුවක් හෝ අප්රිකන් රුධිරය අඩංගු වේ නම් ඔහු හෝ ඇය නිතැතින්ම කළු ජතිකයෙකුවේ යන්නය.කෙසේ හෝ අතීතයේදී ගත් නිවැරදි නොවන තීන්දු තීරණ හමුවේ තවමත් තම ජීවිත වලින් වන්දි ගෙවන කළු ජාතිකයන් තවමත් ලොව පුරා වෙසෙති.ඉන් ජයගත් ඇනිටා වැන්නවුන් අගය කළ යුතු අතර ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.
චිත්‍රානන්ද ගමගේ මහතාගේ සටහනක් ඇසුරෙන්
Previous Story

මරණ සහතිකය ලියවෙන්නට ගොස් යලි හුස්මගත් අවසන් සිලනිකාව

Next Story

මුහුණු පොතේ පිස්සන් අධිකරණයට

Latest from Blog