මුහුණු පොතේ පිස්සන් අධිකරණයට

30 mins read

මුහුණු පොත (Facebook ) හරහා සිදු කරනු ලබන වැරදි අධිකරණය ඉදිරියෙහි ඔප්පු කරලීම සම්බන්ධයෙන් ප්රායෝගිකව වැදගත් වන කරුණු.

වර්ථමානය වන විට මුහුණු පොත (Facebook) හරහා පුද්ගලයින්ගේ කීර්තිනාමයට එල්ල කරනු ලබන හානි සහ නිරවද්යතාව තහවුරු කරලීමකින් තොරව බෙදාහරිනු ලබන (Sharing) පණිවිඩ හේතුකොටගෙන නිර්දෝෂී මෙන්ම කිසිදු වරදක් සිදු නොකල පාර්ශ්වයන් වෙත පිරිමැසිය නොහැකි හානි සහ /හෝ අලාභ සිදුවනු දැකිය හැකි වන අතර, ඒ යටතේ වන ඇතැම් වැරදි ළාබාල තරුණියන්ගේ චරිතයට හානි සිදු කරලීම, විවාහක කාන්තාවන්ගේ වෛවාහික ඡීවිතයට හානි සිදුවන පරිදි වන වැරදි තොරතුරු ප්රචාරය කරලීම, පොදුවේ ඕනෑම පුද්ගලයකුගේ හෝ ආයතනයක කීර්තිනාමයට හානි කරලීමට අදාලව වන කරුණු ඇතුළත් වේ.

ඒ යටතේ මෙවැනි වැරදි සම්බන්ධයෙන්, අපරාධ නීතිය යටතේ (උදා- කිසියම් බාලවයස්කාර තරුණියකගේ ඡායාරූප මුහුණුපොතෙහි පළ කොට එම අය නරක චරිතයක් ඇත්තියක් වන බවට කරුණු හඟවා එම අයගේ අනන්යතාවයට අදාළ වන කරුණු පළ කරලීම වෙනත් වැරදි අතර සංශෝධිත පරිදි වූ ලංකා දණ්ඩ නීති සංග්රහයේ 345 වන වගන්තිය ප්රකාරව දඬුවම් ලැබිය යුතු වන වරදකි.) මෙන්ම සිවිල් නීතිය ප්රකාරව, අපහාස කිරීම (Defamation) යටතේ නඩු පැවරිය හැකි වේ.
මේ යටතේ වින්දිතයින් (Victims) බොහෝ දෙනෙකුට පවතින ප්රායෝගික ගැටලුව වනුයේ, ඉහත කී මුහුණුපොත හරහා සිදු කරනු ලබන වැරදි අධිකරණය ඉදිරියෙහි ප්රායෝගිකව ඔප්පු කලයුතු වන ආකාරය වන බැවින්, ඊට අදාලව වන නීතිමය තත්වය වෙත මාගේ අවධානය පහත සඳහන් පරිදි යොමු කර සිටිමි.
ඒ යටතේ කරුණු සලකා බැලීමේදී, මුහුණු පොතෙහි පළ කරන ලද යම් කරුණක්1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධාන) පනතේ 05 වන වගන්තියෙහි සඳහන් ප්රතිපාදන ප්රකාරව පරිගණක සාක්ෂි (Computer Evidence) වශයෙන් සැලකෙන බැවින්, ඊට අදාලව වන සාක්ෂි මෙහෙයවීම සම්බන්ධයෙන් ඉහතින් සඳහන්1995 අංක 14 දරණ සාක්ෂි (විශේෂ විධාන) පනත ප්රකාරව ක්රියා කළ යුතුව පවතී.
ඒ අනුව, ඉහත කී පනතේ 06 වන වගන්තිය ප්රකාරව වන දිවුරුම් ප්රකාශයක් සමග එකී පරිගණක සාක්ෂියෙහි පිටපතක් (Screen shot) පනතේ 7(1)(අ) වගන්තිය ප්රකාරව විරුද්ධ පාර්ශවය වෙත විභාගයට දින 45 කට පෙර වන දැනුම් දීමකින් පසු අධිකරණය වෙත ඉදිරිපත් කරලීම, ඉන් අනතුරුව පනතේ 7(1) (ආ) වගන්තිය ප්රකාරව විරුද්ධ පාර්ශවය විසින් එකී සාක්ෂි වලට සහ එම සාක්ෂි උත්පාදනය කිරීමට භාවිතා කරන ලද යන්ත්රයට, උපක්රමයට හෝ පරිගණකයට ප්රවේශය ලබා ගැනීමට ඉල්ලීමක් කරන ලද්දේ වී නම්, ඒ සම්බන්ධයෙන් පනතේ 7(1)(ඇ) වන වගන්තිය ප්රකාරව ප්රවේශය සලසාදීම යටතේ (මේ සම්බන්ධයෙන් පනතේ 7(1)(ඈ) වගන්තිය සමග එක්ව ගෙන කියවිය යුතු පනතේ 3(3) වගන්තිය ප්රකාරව අධිකරණය හට යුක්තිය ඉටු කිරීමෙහිලා සිය නෛසර්ගික බලතල ක්රියාත්මක කරමින් ඊට අදාළ වන ආඥා ලබාදීම සිදුකළ හැකිවේ.) නඩු විභාගයේ දී එකී පරිගණක සාක්ෂිය ඇතුලත් මුහුණුපොතෙහි පළ කරන ලද කරුණු සමන්විත පරිගණක පිටපත (මේ සම්බන්ධයෙන් පනතේ 12 වන වගන්තිය යටතේ වන, “මුල් පිටපත” සම්බන්ධයෙන් වන අර්ථ නිරූපනය වෙත ද අවධානය යොමු කළ යුතුව පවතී.) සාක්ෂි වශයෙන් ලකුණු කොට ඉදිරිපත් කරලීමේ හැකියාව පවතී.
කෙසේ නමුදු, එකී සාක්ෂි අධිකරණය ඉදිරියෙහි ඉදිරිපත් කිරීමෙහිලා මුහුණපෑමට සිදුවන ප්රධානතම ප්රායෝගික ගැටළුවක් වනුයේ, අදාළ වරද සිදුකරන ලද පාර්ශවකරු විසින් නඩුව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන අවස්ථාව වන විට අදාල සාක්ෂි මකා දැමීමකට (Delete) ලක් කරලීමයි.
ඒ යටතේ, එකී ප්රායෝගික ගැටලුවෙන් මිදීම පිණිස මෙන්ම තමන්ගේ නඩුව ශක්තිමත් කරවා ගැනීම පිණිස පහත සඳහන් ක්රමවේද ප්රකාරව, පරිගණක දැනුම පවතින පුද්ගලයකු ලවා පියවර ගැනීම වින්දිත පාර්ශවය විසින් සිදුකල යුතුව පවතී.
(අ) අදාල මුහුණුපොතෙහි සඳහන් කරන ලද කරුණ දුටු බවට සඳහන් පුද්ගලයින්ගේ නම් පැහැදිලිව නිරූපණය වන පරිදි අදාල වෙබ් පිටුවෙහි සම්පූර්ණ දත්ත බාගත කොට, ඒවායෙහි පරිගණක පිටපත් ලබා ගැනීමට ක්රියා කිරීම. ( මේ යටතේ, එකී පුද්ගලයින් තම නඩුවෙහි සාක්ෂිකරුවන් වශයෙන් නම් කරලීමේ හැකියාව වින්දිත පාර්ශවකරු සතු වේ.)
(ආ) හැකි උපරිමයෙන් ක්රියා කොට ඉහත කී පාර්ශවයන් සම්බන්ධ කරගනිමින් එම අයවලුන්ගෙන් ඊට අදාලව දිවුරුම් ප්රකාශ ලබා ගැනීමට පියවර ගැනීම. (අපරාධ නඩුවක් වන විටෙක විමර්ශකයන් විසින් ඉහත කී පාර්ශ්වයන්ගෙන් හැකි ඉක්මනින් ප්රකාශ සටහන් කරලීමට ක්රියා කළ යුතුව පවතී.)
(ඇ) IP Addresses, Timestamps, URLs වැනි metadata (දත්ත වල ඇතුලත් දත්ත) ලබා ගැනීමට පියවර ගැනීම.
එසේම, ඉහත කී මැකීමකට ලක් කරන ලද මුහුණු පොතෙහි සඳහන් කරන ලද ඉහත එකී දත්ත අධිකරණ නියෝගයක් මත Facebook සමාගමෙහි මෙරට නියෝජිත ආයතනය හරහා සිංගප්පූරුවෙහි පිහිටි කාර්යාලය මගින් ප්රතිඋත්පාදනය කරවා ගැනීම පිණිස නියෝග ලබා ගැනීමද ඥානාන්විත ක්රමවේදයකි.
තවද, අනෙකෙකු ලෙස හෝ අසත්ය නමකින් සහ විස්තරයකින් (Fake Account) පෙනී සිටින පුද්ගලයකු වන විටෙක එකී වැරදි ඔප්පු කරලීම පිණිසද ඉහත කී ප්රකාරවම ෆේස්බුක් සමාගමෙහි මෙරට නියෝජිත වෙතින් ඊට අදාලව වන විස්තර ලබා ගැනීම පිණිස වන අධිකරණ නියෝග ලබා ගැනීමට ක්රියා කළ යුතුව පවතී.
එසේම, වැඩිදුරටත් කරුණු සලකා බැලීමේදී ශ්රී ලංකාව තුළ සිටයදීම අදාළ වරද සිදු කරලීමේ අවශ්යතාවයක් නොමැති අතර, අන්තර්ජාලය හරහා විදේශ රටක සිට මුහුණු පොත ආශ්රයෙන් අදාළ වරද සිදු කරලීම යටතේ, වරද සිදුවන ලද තැනැත්තා අප රටෙහි සිටීම මත පදනම්ව මෙන්ම අප රටෙහි වින්දිතයා සිටියදී එකී තැනැත්තා ඉහත කී වරද හේතුකොටගෙන අගතියට පත් වීම යටතේ ස්වකීය නෛසර්ගික බලතල පනතේ 3(3) වගන්තිය ප්රකාරව, ඊට අදාලව භාවිතයට ගැනීමේ හැකියාව අධිකරණය සතුව පවතී.
SLJRILS පිටුවෙන්
Previous Story

ඇනිටා පෙහෙලිකල, ඔබාමා දිනාගත් කළු රුහිරේ යටපත්නොවූ අභිමානය

Latest from Blog