දැන් නම් ආදරෙන් ඈත්වෙලා ඉන්නේ

මේ දිනවල ‘පාර දිගේ’ බලනවා නම් ඔබට ආන්‍යාව මුණගැහිලා තියෙනවා. සුන්දර යුවතියක් වුණු ආන්යා පාර දිගේ කතාව තුළ කුතුහලය රඳවන තවත් එක් චරිතයක් කිව්වොත් නිවැරදියි. කවුද මේ ආන්‍යයාට ඉන්නේ කියලා හැමෝම හොයන නිසා පිනිපලස අපි ආන්‍‍ය‍ට ජීවය ලබා දෙන දේශානි නෙහාරා සමඟ කතා කළා මේ…

පවුලේ විස්තරය

අම්මයි, තාත්තයි, මමයි, අක්කයි. තාත්තා ගුවන්තොටුපල හිටපු කළමනාකාර කෙනෙක්. අක්කා හිටපු ගුවන් සේවිකාවක්. අක්කා නම් දැන් විවාහකයි.

පාසල් ගියේ

සාමාන්‍ය පෙළ දක්වා මරඳගහමුල ක්ලේටන් විද්‍යාලයට ගියා. උසස් පෙළ කළේ ගම්පහ Wycherley ජාත්‍යන්තර පාසලෙන්.

බාහිර ක්‍රියාකාරම් මොනවාද කළේ..

ස්පෝර්ට්ස් කරා. කරාටේවලින් තමා ගොඩක් ඉස්සරහට ගියේ. ඒ වගේම ජිම්නාස්ටික්, පිහිනුම් කරා.

කවුරු වෙන්නද සිහින මැව්වේ?

නිළියක් වෙන්න නම් ගොඩක් දරුණුවට තිබුණ සිහිනයක්. ඒ වගේම ගුවන් සේවයක් වෙන්නත් මම ආසවෙන් ඉන්නවා.

නිළියක් වෙන්න හිතුවේ කොයි කාලෙද?

පොඩි කාලයේ ඉඳලම ආසයි. වැඩිපුරම ආස වුණේ සාමාන්‍ය පෙළ කරන කාලේ. ඒ ගැන අම්මටත් කිව්වා. මටත් වැඩිය අම්මගෙත් කැමැත්ත තිබුණා මම මේ ක්ෂේත්‍රයට එනවට. පාසලේදී නාට්‍යවලට සහ කලා අංශයේ වැඩ බොහෝමයකට දායක විය. නර්තනය විෂයයක් ලෙසත් හැදෑරුවා. ඒ නිසා කුඩා කාලයේ ඉඳලාම දක්ෂතා තිබුණා.

ආන්යා වෙන්නේ කොහොමද?

ඇත්තටම අහම්බයකින් වුණු දෙයක්. නිරූපණ ක්ෂේත්‍රයටත් මම ආස කළා. නිරූපණ කටයුතු කරන අතරේ රංගනයට අවස්ථාවක් ලැබෙයි කියලා බලාගෙන හිටියා. අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහොම ඉන්නකොට ජාන්වි අප්සාරි (දෝනි) නංගිගෙ අම්මයි තාත්තයි හම්බවුණා. ඒ දෙන්නා තමයි චාමර සමරවික්‍රම අයියට මුණගස්සලා මේ අවස්ථාව ලබා දුන්නේ.

මේ පළවැනි නිර්මාණය?

ඔව්, මේ මගේ පළවැනි ටෙලි නාට්‍යය. මම හිතුවේ නැති මොහොතක මට ලැබුණු චරිතයක්. මුලදී නම් හිතේ ලොකු බයක් තිබුණා මට කරගන්න පුළුවන් වෙයිද කියලා. කිෂූ සර් වගේ රටේ පිළිගත් චරිතයක දුවක් විදියට වැඩ කරන්න ලැබීම මට ඇත්තටම සතුටුයි. මගේ පළමු රංගනය මේ වගේ පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීමම ලොකු භාග්‍යයක්.

ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. සමහරු මට දැන් ආන්යා කියලමයි කතා කරන්නේ. රසික රසිකාවියන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම මේ දවස්වල නම් ආන්යට ටිකක් බණිනවා. ඒ නිසා බැඳුනුත් අහනවා.

ආන්යා හින්දා ඉස්සරහට ප්‍රශ්න මතුවෙයිද?

මම හිතන්නේ නැහැ ආන්යා හින්දා ප්‍රශ්න ඇතිවෙයි කියලා. ඉස්සරහට කතාව තවත් හොඳ විදිහට ගලාගෙන යාවි. මේ වෙද්දී කතාව එක පාරවල්වල යනවා. හැමෝම දැන් පාර දිගේ එක පැතිවල ගිහිල්ලා අන්තිමට එකම තැනකදී.

දීමට ගෙදරින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?

ගෙදරින් ලොකු සහයෝගයක් හම්බවෙනවා. ඇත්තටම කිව්වොත් තාත්තා නම් කැමති වුණා. ගෙදරටගහලා අඬලා තමා කැමැත්ත අරගත්තේ. දැන් නම් අම්මගෙන් වගේම තාත්තගෙනුත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මගේ තනියට එන්නේ ඒ දෙන්නා. අම්මා නැත්නම් අක්කා තමා මගෙත් එක්ක ෂූටින් එන්නේ.

‘පාර දිගේ’ තාත්තා බලනවද?

ඔව්, තාත්තා බොහොම ආශාවෙන් නාට්‍යය බලනවා. ඒ වගේම දන්න අයගෙනුත් අහනවා නාට්‍යය බලනවද? ආන්යාට ඉන්නේ දුව කියලත් කියනවා. දැන් තාත්තා තමා ඔක්කොටම වැඩිය ආස.

දේශානි එක්ක අක්කා ෂූටින් ඇවිත් එයත් පෙන්නන්නද?

එයා නම් පොඩ්ඩක්වත් කැමති නැහැ. එයාට ආරාධනා ලැබෙනවා. ඔයාත් එන්න පෙන්වන්න කියලා. මොකද එයා මට වඩා ලස්සනයි. සමහරු කියනවා නංගිට වඩා අක්කා හොඳයි කියලත්.

දේශානිට තව ආරාධනා ලැබිලද?

ආරාධනා ගොඩක් ලැබෙනවා. ඒ දේවල් මම පොඩ්ඩක් පසුවට තිබ්බා.

ඇයි ඒ?

මම හිතුවා මගේ පළමු නිර්මාණයට මුල්තැන දෙන්න කියලා. නමුත් ඉස්සරහට සලකලා බලනවා.

කොහොමද කණ්ඩායමෙන් ලැබෙන සහයෝගය?

ඉතා හොඳ සුහදශීලි සහයෝගයක් ලබා දෙනවා. මම ආධුනිකයි කියලා මට කොතැනදීවත් දැනෙන්න දීලා නැහැ. ඒ ලැබෙන සහයෝගය මට ලොකු ශක්තියක් මගේ චරිතය ගොඩ නගා ගන්න. මේකප් කරන අයියාගේ ඉඳන් හැමෝම මට හොඳ සහයෝගයක් දෙනවා.

බොහෝ දෙනා හොයනවා කවුද මේ ආන්යා කියලා, සමාජ මාධ්‍ය තුළ ඔබ සක්‍රිය කෙනෙක් නෙවෙයිද?

මම සමාජ මාධ්‍ය තුළ ඉන්නවා. නමුත් ලොකුවට නැහැ. ඒ නිසා මාව ටිකක් හොයාගන්න අමාරුයි කියන එක තියෙනවා. මාව හොය ගත්තට පස්සේ ඔයාව හොයාගන්න අමරුයිනේ ආන්යා කියලා මැසේජ් පවා එවලා තියෙනවා. ඉස්සර නම් මම සමාජ මාධ්‍ය තුළ හිටියේ නැහැ. මොකද මම එතරම් ආස නැහැ. නමුත් ක්ෂේත්‍රයට ආවට පස්සේ සමාජ මාධ්‍ය ගිණුමක් හැදුවා.

දැන් ආන්යා නිසා දේශානි නෙහාරා ජනප්‍රියයි, කොහොමද ඒ ජනප්‍රියතාව දැනෙන්නේ?

ඒ ගැන ගොඩක් සතුටුයි. මොකද මේක මගේ සිහිනයක් දර්ශනයක්. ගොඩක් අය දැක්කම අනේ මේ ආන්යා නේද කියලා කතා කරනවා. ඒ වගේම ගොඩක් පොඩි ළමයිගෙන් තමාගේ ප්‍රතිචාර ලැබෙනවා.

දිගටම පෙන්නන්නද අදහස?

මගේ ඉගෙනීමේ වැඩ කටයුතු කරගෙන යන ගමන් පෙන්වන්න තමා බලාපොරොත්තුව. ඒ එක්කම මගේ ගුවන් සේවිකාවක් වීමේ සිහිනයත් තියෙනවා. අවශ්‍ය තවම ජොබ් වේකන්සි නැති නිසා රංගන කටයුතු කරගෙන යනවා.

චරිතයක් තෝරාගනිද්දී වැඩිපුරම සැලකිල්ලක් දක්වන්නේ මොනවටද?

අනිවාර්‍යෙන්ම පිටපත මම බලනවා. මගේ ආත්ම ගරුත්වයට හානියක් නොවන චරිතයක් විය යුතුයි.

මොන වගේ චරිතවලටද කැමති?

ගොඩක් මම ආස දඟ චරිතවලට. ඒ වගේම දරුණු චරිතවලට තමා මම කැමති. Harley Quinnwage චරිතයක් ලැබුණොත් නම් නියමයි. මම හිතනවා මට ඒ වගේ චරිතයක් කරන්න ලෙහෙසි වෙයි කියලා.

සිනමාවට ආරාධනා ලැබුණද?

තවම නම් සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණේ නැහැ. ලැබුණොත් පිටපත බලලා මට ගැළපෙන චරිතයක් නම් අනිවාර්‍යෙන්ම භාර ගන්නවා.

වෙළඳ දැන්වීම් සහ රූප රචනාවලට ආරාධනා ලැබිලාද?

ඔව් ආරාධනා ලැබෙනවා. සහභාගි වෙනවා. කරපු එක තියෙනවා. ඊට ඉස්සරහට එයි.

‘පාර දිගේ”‘ අමතක නොවන අත්දැකීම් ඇති…

ගොඩක් තියෙනවා. පාරේ සින්දු කියන්න වුණා. පාරේ මිනිස්සු ඉස්සරහා තිබ්බේ නැති නිසා මුලදී පොඩි ලැජ්ජාවක් සහ බයකුත් ඇති වුණා. ඒ වගේම මම ලයිසන් අරගෙන මුලින්ම පාරේ ඩ්‍රයිව් කරන්නේ ‘පාර දිගේ’ ටෙලි ඩ්‍රාමා එකට. ඒ දවස නම් මට අමතක වෙන්නේ නැහැ.

ආන්යා නම් ආදර සබඳතාවල පැටලිලා ඉන්නේ, එතකොට දේශානි නෙහාරා කොහොමද?

ආදරේට ආදරේ කරනවා. ආදරේ කරලත් තියෙනවා. දැන් නම් ආදරෙන් ඉන්න වෙලා ඉන්නේ. ඒ නිසා මම හිතන්නේ නැහැ දැන් ආදරේ ගැන.

ක්ෂේත්‍රයේ කෙනෙකුගේ යෝජනාවක් ආවොත්?

මම ගතිගුණ තමයි ගොඩක්ම බලන්නේ. ඒ නිසා ක්ෂේත්‍රයේ කෙනෙක්ද කියන එක විශේෂ වෙන්නේ නැහැ. ගතිගුණ හොඳයි නම් මම සලකලා බලනවා.

ආන්‍යා සහ දේශානිගේ සමාන අසමානකම් මොනවාද?

ආන්යා උසස් පවුලක කෙනෙක්. නමුත් දේශානි නෙහාරා කියන්නේ සාමාන්‍ය පවුලක කෙනෙක්. සමානතා කිව්වොත් දෙන්නම සරලයි. බොරු සෝබන නැහැ.

නිළියක් විදියට ඉන්නවද? ගුවන් සේවයක් වෙනවද කියන දෙකෙන් එකක් තෝරගත්තොත්…

හ්ම්… මම හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා. මොකද මේ තරම් ආමාරු ප්‍රශ්නයක්. නමුත් තවම ගුවන් සේවයක් වෙලා නැති නිසා රංගනය තෝරා ගන්නවා.

දේශානි කියන්නේ අභියෝග භාර ගන්න කෙනෙක්ද?

ඔව්, මම අනිවාර්‍යෙන්ම ජීවිතේට එන අභියෝග භාර ගන්න කෙනෙක්. පොඩි කාලේ ඉඳලම මගේ ජීවිතේට එක අභියෝග ආවා. සෑම දෙයකටම මම සාර්ථකව මුහුණ දුන්නා. ඒ නිසා ඉදිරියටත් එන අභියෝග භාරගන්නවා.

දේශානි ජිවිතේ මොන වගේ චරිතයක්ද?

මම නම් පොඩ්ඩක්වත් අහිංසක නැහැ. දන්නා අය දන්නවා. මම ගොඩක් නපුරු දඟ කෙනෙක්. ඒ වගේම මම කැමතිත් නැහැ මම අහිංසකයි කියලා හිතනවා. මොකද සමහර අහිංසකයි කියලා පෙන්නුවට එහෙම අහිංසක නැහැ. මම කැමති නැහැ පිටින් අහිංසක විදියට ඉඳලා ඉඳලා වෙනස් වෙන්න. අනික මම අහිංසකයි කියන එක දුර්වලකමක් විදියට දකින්නේ. අහිංසක වුණාම මිනිස්සු ඔළුවට අත හෝදන්න එනවා. අවශ්ය මම ආස නැහැ.

කරාටේ දන්න නිසා කට්ටිය බය කරන්නද ඉන්නේ?

ඔව්. බය කරලා තියන් ඉන්නවා. සමහර වෙලාවට කරාට පෙන්නලා කියලත් තියෙනවා. එතකොට කරලා පෙන්වනවා. ඉතින් කට්ටිය කියනවා මෙයාගෙන් නම් පරිස්සම් වෙලා ඉන්නවා කියලා.

අනූෂා රණසිංහ

The post දැන් නම් ආදරෙන් ඉන්න වෙලා ඉන්නේ appeared first on Aruna.

Next Post

කොවිඩ් සමඟ සටන් කළ 100ක් ගෙදර යයි

Sat Mar 12 , 2022
දේශීය සුවය ලැබූ ඉහළ මට්ටමක කොවිඩ් 19 වෛද්‍යවරුන් ඇතුළු තවත් දින 100ක් (12) දිනයේදී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව රෝග විද්‍යා අංශය පවසයි. ඒ අනුව සුවය ලැබූ සමස්ත 618,797ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. The post කොවිඩ් සමඟ සටන් කළ 100ක් ගෙදර යයි appeared first on Aruna.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.