මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ගේ සංකල්පයකට අනුව, මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් මෝටර් රථවලින් නිදහස් දිනයක් (Car Free Day) පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කිරීම සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාවක් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාර පරිශ්‍රයේදී ඊයේ (ඔක්. 5) පැවැත්විණි. ඒ අනුව, මෝටර් රථවලින් නිදහස් දිනයක් (Car Free Day) පැවැත්වීම සඳහා අවශ්‍ය මූලික සැලසුම් සකස් කිරීම සිදුවූ අතර මහනුවර නගරයේ සිට ගන්නෝරුව ප්‍රදේශය දක්වා වූ මාර්ගය මෙම වැඩසටහනේ පාපැදි ධාවනය සඳහා සුදුසු බවත්, ගන්නෝරුව ප්‍රදේශය මූලික කර ගනිමින් මෙම වැඩසටහන පැවැත්වීමට උචිත බවත් මේ සඳහා ඉතා කඩිනමින් දිනයක් නම් කළ යුතු බව ත් යෝජනා විය.
එම අවස්ථාවේදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ සඳහන් කර සිටියේ, මෝටර් රථ නිදහස් දිනයන් (Car Free Day) විදේශ රටවල බහුල වශයෙන් දැකිය හැකි බවත්, එමගින් ශාරීරික, මානසික, ආර්ථික හා සංචාරක වශයෙන් විශාල ප්රතිලාභයන් අත්වන බවත් ය. පාපැදි භාවිතයෙන් හෝ ඇවිදිමින් නම් කළ මාර්ග තීරුවේ ගමන් ගැනීමට සීමා නොවී, හඳුනාගන්නා ලද ප්‍රදේශයක් තුළ විචිත්රාංග සහ නිෂ්පාදන අලෙවිකුටි ඇතුළත් කරමින් ජනතාව සඳහා වෙනස් වූ වැඩසටහනක් නිර්මාණය කිරීමත්, පාපැදි ධාවනය දිරිමත් කිරීමත් මෙම වැඩසටහන මගින් බලාපොරොත්තු වන බව ත් සංචාරකයන් සඳහා නවමු අත්දැකීමක් ලබා දීමටත් මෙය ඉවහල්විය හැකි බවත් ය.
මෙම අවස්ථාව සඳහා මහනුවර නගරාධිපති කේසර සේනානායක, මහනුවර මහ නගර සභාවේ විපක්ෂ නායක සේන දිසානායක, යටිනුවර ප්‍රාදේශීය සභා සභාපති කේ. රූපස්සර, පාපැදි සංගම් නියෝජනය කරමින් සහ පාපැදි භාවිත කරන වෘත්තීය ප්‍රජාව, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්යක්ෂ ආර්. බණ්ඩාර, ශ්‍රී හදබිම අධිකාරියේ විධායක අධ්යක්ෂ මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන ලේකම් කුමුදුණි කරුණාරත්න, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති ජානක සකලසූරිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.