ළමයින්ව ජනප්‍රිය පාසල්වලට දාගන්න උදව් දෙන “89 වත්ත” . . .

කැටවලමුල්ල වත්ත නැඟෙනහිර කුප්පියාවත්ත ග්‍රාමසේවා වසමේ පිහිටි තවත් පැරැණි වත්තකි. කැටවලමුල්ල පෙදෙස, දෙමටගොඩ, කොළඹ 09 ලිපිනයේ පිහිටි එම වත්ත ‘89 වත්ත’ නමින් ද හඳුන්වනු ලැබේ. මවුලානා වත්තට යාබද වත්ත ය. එහෙත් මේ වත්ත මවුලානා වත්තට වඩා වෙනස්ය. එම වත්තේ පදිංචිකරුවන් ද යමක් කමක් ඇති, පිළිවෙළට ජීවත්වන පිරිසක් බව පෙනේ. වත්තේ නිවාස ද තෙමහල්, දෙමහල්, තනි මහල් සිත්ගන්නා සුළු පෙනුම ය. එහෙත් එම වත්ත මැදින් වැටුණු ප්‍රධාන මාර්ගය නම්, අඩි හයකට වඩා පළල් නැත. සෙසු අතුරු මාර්ග අඩි දෙකකට වඩා පළල් නැත. මිනී පෙට්ටියක්වත් ඔසවාගෙන යා නොහැකි තරමට පටුය. එමෙන්ම එම අතුරු මාර්ග කැඩී, බිඳී ගිය අබලන් කාණු වැනි ය. පුංචි වැස්සටත් වාරි මාර්ග ය. එහෙත් අප එම වත්තේ සංචාරය කරනු ලැබුයේ ගිනියම් දිනක ය. මධ්‍යහ්නයේ එම වත්තට යන මොහොතේ කොන්ක්‍රීට් වනාන්තරය ගිනියමින් දැවෙමින් තිබිණි. හතර වටේ තාප්පවලින් වට වී, අක්කර හතරක පමණ භූමියක පිහිටි කැටවලමුල්ල වත්තේ කෙළවරේම නිවසක් ඉදිරිපිට අපි නතර වීමු.

පර්චස් එකහමාරක පමණ භූමියක පිහිටි දෙමහල් නිවසකි. එම නිවසට මිදුලක් නැත. නිවසේ බිත්තිවලට දෙපස නිවාස බද්ධව පිහිටා ඇත. මහා විශාල විසිත්ත කාමර, මුළුතැන් ගෙවල් නො තිබුණාට පුංචි නිවස හරිම පිළිවෙළ ය. පදිංචිකරුවන් ද ප්‍රසන්නය. කතාව ද ප්‍රියජනක ය. එම නිවසේ ඉදිරිපිට පටු පාරේ තැනින්, තැන පුටු කිහිපයක් තබාගෙන අපි හිඳගත්තෙමු.

“මේ අපේ උපන් වත්ත. ඒ කාලේ ඉඳලා මේ ප්‍රදේශයේ තිබුණු හොඳම වත්ත. මේ වත්ත ගැන මොනවද දැනගන්න ඕනෑ. මේ වත්ත විතරක් නෙමෙයි, කොළඹ වතු ඉතිහාසය ම මම දන්නවා…” එසේ හඬ අවධි කළේ එම නිවසේ හිමිකරු ඩබ්ලිව්. විමලසිරිය. දැන, උගත් පරණ මිනිසෙකි. වයස අවුරුදු හැත්තෑදෙකකි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සාත්තු සේවකයෙක් ලෙස රාජකාරි කළ ඔහු රැකියාවෙන් විශ්‍රාම ගොස් බොහෝ කාලයකි. විවේක සුවයෙන් කාලය ගත කරන හේ අපව කැටවලමුල්ල වත්තේ ආරම්භයට කැඳවාගෙන ගියේය.

“මේ සම්පූර්ණ වත්තේ අයිතිය තිබුණේ සිල්වා මහත්තයට. මේ ඉඩම විතරක් නෙමෙයි, එතුමට කොළඹ තවත් ඉඩම් රාශියක් තිබුණා. මහ විශාල නිවාස තිබුණා. එතුමගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා තිබුණේ ඒ ගෙවල් කුලියට දීම, ඉඩම්වල පුංචි ගෙවල් හදලා මිනිසුන්ට බදු දීම. මේ වත්තෙත් පුංචි ගෙවල් හදලා කුලියට දීලා තිබුණා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පින්සිද්ධ වෙන්න තමයි අපිට මේ ඉඩම්වල අයිතිය ලැබුණේ. අපිට විතරක් නෙමෙයි රුපියල් 25ට අඩු කුලී ගෙවාගෙන කොළඹ ජීවත් වෙච්ච විශාල පිරිසකට මැතිනියගේ කාලේ ස්ථිර පදිංචිය ලබා දුන්නා. දැන් මේ වත්තේ සෑම පදිංචිකරුවෙක්ට ම නිරවුල් ඔප්පු තියෙනවා. ඒත් ඉඩම පර්චස් දෙකයි. එකහමාරයි. ගේ හැදුවම මිරිස් පැළයක්වත් හිටවගන්න ඉඩක් නෑ. ඉස්සර වත්තේ නිවාස අඩුයි. නිවාස අතර ඉඩකඩ තිබුණා.

ගහකොළ තිබුණා. නිවාස ඉදිරිපිට මිනිස්සු මිරිස් පැළයක්, තක්කාලි පැළයක් හිටවගෙන තිබුණා. දැන් එක ගොඩේ නිවාස. පර්චස් දෙකේ ගෙවල් දෙක, තුන හදාගෙන ඉන්නවා. වත්තේ නිවාස සියකට වැඩියි. පුළුවන් විදිහට මිනිස්සු ගෙවල් දොරවල් හැඩ කරගෙන තියෙනවා. තට්ටු නිවාස වැඩි වෙනකොට තනි තට්ටුවේ නිවාසවලට හුළං රැල්ලක්වත් එන්නේ නෑ. ඒ වගේම තවමත් ලෑලි නිවාස කිහිපයක් තියෙනවා. ඒ නිවාසවලත් පවුල් දෙක, තුන ජීවත් වෙනවා…”

“ඒ වගේම ඉස්සර මේ වත්තේ ජීවත් වුණේ සිංහල මිනිස්සු විතරයි. දැන් බහුලව ජීවත් වෙන්නේ මුස්ලිම් මිනිස්සු. දෙමළ, සිංහල පදිංචිය තුන් වැනි තැනට වැටිලා. අදටත් විකුණන ඉඩම් වැඩිපුර ගන්නෙ මුස්ලිම් මිනිස්සු. ජාතියක්, ජන්මයක් බලන්නෙ නැතිව වැඩි ඉල්ලුමට අපේ මිනිස්සු ඉඩම් දෙනවා. ඒ මිනිස්සු පර්චස් දෙකත්, තුනට කඩලා ගෙවල් හදනවා. දැන් මේ වත්තේ ජීවත් වෙන සිංහල පවුල් පහළොවක්, දහසයකට වැඩි නෑ. ඒ වගේම රජයේ රැකියා කරන, ව්‍යාපාර කරන, ස්වයං රැකියා කරන, කුලි වැඩ කරන විවිධ තරාතිරම්වල වෘත්තිකයන් මේ වත්තේ ජීවත් වෙනවා. ඒ අතර විවිධ ජාවාරම්කාරයෝ, මත්ලෝලීන් ඉන්න පුළුවන්. ඒත් අසල්වාසීන්ට කරදරයක් නෑ. මත්පැන් බීලා කෑ කෝ ගහන අයත් දැන් නෑ. ඉස්සර හිටියා. ඒ කාලේ බී ගත්ත මිනිස්සු ඇඳිරිවැටෙනකොට පාර දිගට බඹරු වගේ. අලුත් පරම්පරාවේ බේබද්දො අඩුයි. ඒත් පාරත් අල්ලගෙන ගෙවල් ලොකු කරගෙන තියෙනවා. දැන් පාර හොඳට ම පටුයි. අඩි දොළාහක් විතර පළලට තිබුණු පාර අඩි අටකටත් වඩා අඩු වෙලා. සමහර තැන්වලින් ඊටත් අඩු වෙලා. ඒවා සම්බන්ධයෙන් කතා කරන්න ගියහම නොයෙක් ප්‍රශ්න එනවා. ඉස්සර නම් ඕවට විරුද්ධව කතා කළා. මම තමයි ප්‍රජා සංවර්ධන සමිතියේ සභාපති විදිහට කටයුතු කළේ. වත්තේ හොඳ වැඩ අගය කරන අතරේ, නරක වැඩවලට එරෙහි වුණා. දැන් වයසයි. තරුණයන්ට ඉඩ දීලා අපි වෙන දේ බලාගෙන ඉන්න ඕනෑ…” විමලසිරිගේ කතාවට විරාමයක් නැත. අපගෙන් අතුරු ප්‍රශ්න ද නැත. හේ 89 වත්තේ ඉතිහාසයත්, වර්තමානයත් වෙන්කොට පැහැදිලි කරන්නේය. අපේ කතාවට බාධාවකට තිබුණේ පටු මඟෙහි ඇවිද යන මිනිසුන් පමණි. එක පේළියට නිවාස හයකි. විමලසිරිගේ නිවස පිහිටා ඇත්තේ මැද ය. ඉදිරියෙන් තවත් නිවාස පේළියකි. පසු පසින් තවත් නිවාස පේළියකි. පාරේ හිඳගෙන සිටි අපට කෙනෙක් ගමන් කරනවිට පුටු ඔසවාගෙන ඉවත්වීමට සිදු වූ වාර කිහිපයකි.

“මේක විශේෂයෙන්ම කියන්න ඕනෑ. සමහර පුද්ගලයන්, දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් සමග එකතු වෙලා මේ වත්තේ පොදු පහසුකම් සහිත ඉඩම්වලට හොර ඔප්පු හදලා විකුණලා තියෙනවා. කුණු කාණු උඩ කොන්ක්‍රීට් තට්ටු ගහලා ගෙවල් හදාගෙන ඉන්නවා. අනවසර ඉදිකිරීම්. ඒවා ගැන සොයාබලන්න රාජ්‍ය නිලධාරීන් නෑ…” විමලසිරිගේ කතාව සැබෑය. නෙළුම් කුලුන යට බොහෝ වතුවල පොදු වැසිකිළි, පොදු ළිඳක් තිබේ. අප සංචාරය කළ සියලු වතුවල ද පොදු වැසිකිළි, ළිං තිබිණි. එහෙත් 89 වත්තේ පොදු පහසුකම් දකින්නට නො ලැබිණි. පොදු ස්ථාන කිසිවක් එම වත්තේ දකින්න නො ලැබිණි.

“මගේ ජීවිත කාලයට මේ වත්තේ ගෙදරක මිනී පෙට්ටියක් තියනවා දැකලා නෑ. මිනී පෙට්ටියක් තියන්න ගෙවල්වල ඉඩකඩ මදි. පෙට්ටියක් ඔසවාගෙන යන්න බැරි තරමට අතුරු පාරවල් පටුයි. ඒ නිසා මේ වත්තේ කෙනෙක් මැරුණම තියන්නෙ මල් ශාලාවල. පොදු ස්ථානයක් තිබුණා නම් තවකාලික හට් එකක් ගහල මිනිය තියන්න තිබුණා. ඒ වගේම මේ ඉඩම්වල වටිනාකම දිනෙන්, දින වැඩි වෙනවා. වත්ත වටේම ජනප්‍රිය පාසල්. සියලු පහසුකම් අත ළඟ. ළමයින්ව පාසල්වලට දාගන්නම මේ වත්තේ හොරට ඔප්පු හදාගෙන පදිංචි වෙලා ඉන්නවා. ඒ වගේම ළමයින්ව පාසල්වලට දාගන්න වලිකන ව්‍යාපාරිකයන්ට කීය කිව්වත් ඉඩම්, ගෙවල් මිලට ගන්නවා. අපේ වත්තේ පරණ පදිංචිකරුවෝ බොහෝ දෙනෙක් අධික මිලට ගෙවල් විකුණලා පිට පළාත්වල පදිංචියට ගිහින් ඉන්නවා…” විමලසිරිගේ ඒ කතාවට වත්තේ තවත් පදිංචිකරුවෙක් අඩු වැඩි එකතු කළේය. හේ ආනන්ද ජයකොඩිය. වෑද්දුම් ශිල්පියෙකි. තම නිවසේම පැත්තක පුංචියට වැඩපළක් පවත්වාගෙන යන ආනන්දට ගැටලු ගොඩකි.

“මහත්තයලා කරන වැඩෙන් අපිට වාසියක් වෙයි ද? අඩුම තරමින් ඔය ලිපිය බලලා රජයෙන් බඩු මල්ලක්වත් දෙයි ද? ජීවත් වෙන්න හරිම අමාරුයි මහත්තයෝ…” හේ කේඩෑරිය. පනස්හත් හැවිරිදි ආනන්දගේ ශරීර කූඩුව දිරාපත් වී ඇත්තේ වයසට නොව, ජීවන අරගලයේ කටුක ප්‍රතිඵලයක් ලෙස ය. තිදරු පියෙක්වන ආනන්ද දරුවන්ට උගන්වමින් පවුල නඩත්තු කිරීමට දැඩි වෙහෙසක් දරන බව විමලසිරි ද අපට කීවේය.

“ඉස්සර හොඳට වැඩ තිබුණා. කොරෝනා එන්න ඉස්සර කරගන්න බැරි තරමට වැඩ තිබුණා. ගෝලයෝ තුනදෙනෙක් වැඩ කළා. දැන් වැඩ ඇත්තේම නෑ. ඉඳල, හිටල වැඩක් ආවට හරි මිලක් නියම කරගන්නත් බෑ. වැඩේ පිට යයි කියන බයට තුට්ටුවට හරි කරනවා. අන්තිමට මහන්සියටවත් සාධාරණයක් වෙන්නේ නෑ. ඒ වගේම ඉස්සර අපි වෙල්ඩින් කූරු පෙට්ටිය ගත්තේ රුපියල් අටසිය පනහයි. දැන් දෙදහස් තුන්සිය පනහයි. යකඩ බට, කූරුවල මිල තෙගුණ වෙලා. කන, බොන දේවල්වල මිල ඊටත් වැඩියි. උදේ ඉඳලා මහන්සි වෙලා හවසට ඇඟ රත් වුණේ නැති නම් නින්ද යන්නෙ නෑ. දැන් ඇඟ රත් කරගන්න කරන්ට් එක වද්ද ගන්න ඕනෑ. අරක්කු කාලක් බෝනනත් කීයක් ඕන ද? වතුවල පෙරණ බඩුත් තියෙනවා. ඒවායෙ කියලාත් මිලේ ලොකු වෙනසක් නෑ. සීල් අරක්කු වැඩි වෙනකොට වත්තේ කසිප්පු බෝතලයේ මිලත් වැඩි වෙනවා. ඒවා බීලා ලෙඩ හදාගන්නවට වඩා හොඳයි සල්ලි තියෙන වෙලාවට සීල් බාගයක් බීලා නැති වෙලාවට හාමතේ නිදා ගන්නවා…” සූර් වෙන්න සීල් බීලා පීල් එකේ නිදාගන්න කෙනෙක් බව ආනන්දගේ කතාවෙන් අපට පැහැදිලි විය. එහෙත් දැන් සීල් බොන්න ඔහුට ආදායමක් නැත. පවුල නඩත්තු කිරීමටවත් ආදායමක් නො ලැබෙන බව හේ අපට කීවේය.

“බඩට නොකා හරි අපි උත්සාහ කරන්නේ ළමයින්ට උගන්වන්න. ආනන්ද, නාලන්දාව අල්ලපු වැටේ. පදිංචියෙන් ඉස්කෝල දෙකට ම දාන්න පුළුවන්. ලොකු පුතා ගියේ නාලන්දාවට. දුව ගෝතමී බාලිකා වේ. ඒත් පොඩි පුතාව ඒ පාසල් දෙකට ම ඇතුළත් කරගන්න බැරි වුණා. ලයිට් බිල්, වතුර බිල්, පදිංචිය සහතික කරන ඔප්පු සියලු ලියැකියවිලි තියෙනවා. ඒත් පාසල් දෙකට ම ළමයා භාර ගත්තේ නෑ. මේ වත්තේ ඉඳල පිට පළාත්වල ළමයි ඔය පාසල් දෙකට ම යනවා. උපන් ගමේ අපේ ළමයි පොඩි පාසල්වලට යනවා. ඉස්සර මේ වත්තේ සේරම පිරිමි ළමයි ඉගෙනගත්තේ කොළඹ ආනන්ද, නාලන්දේ. දැන් වත්තේ ගොඩක්ම ළමයින්ව ඒ පාසල් දෙකට ඇතුළත් කරන්න බැරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්න කාට කියන්නද? අපි හැම තැනකදීම අසරණයි. මේවා කතා කරන්න ගිහම හිත රිදෙන එක විතරයි. විසඳුම් නෑ. ඒ වගේම තව ළමයෙක්ව කපාගෙන මගේ ළමයා පාසලකට ඇතුළත් කරගන්න මම කැමැතිත් නෑ. ලැබෙන විදිහට, දහමට අනුව ජීවත් වෙනවා…” ජීවන අරගලය, 89 වත්තේ ගැටලු ගැන ආනන්ද තව බොහෝ දේ අපට කීවේය. අපි ඒ කතාව කෙටි කර, කැටවලමුල්ල වත්තට පිවිසුමේ පුංචි සිල්ලර බඩු වෙළෙඳසැලේ හිමිකාරිය වන දීපිකා විජේරත්න සමග වෙළෙඳාම ගැන කතා කළෙමු.

“බිස්නස් ලොස්… කඩේට බඩු දාගන්න සල්ලි නෑ. පවතින ආර්ථික රටාව වෙනස් නො වුණොත් රටේ මහා ව්‍යසනයක් වෙනවා. අපේ වත්තේ බොහෝ දෙනා ළමයින්ට උගන්වන්න උපරිමයෙන් මහන්සි වෙනවා. ඒත් පවතින ආර්ථික ක්‍රමය තුළ ළමයි තුන්, හතරදෙනෙක්ව පාසල් යවන්න ලොකු සටනක් කරන්න වෙලා…” හතළිස් පස්හැවිරිදි දීපිකා සිල්ලර වෙළෙඳාම ගැන කතා කළේ කලකිරුණු ස්වරයෙනි. ඇයගෙන් තව බොහෝ දේ දැනගැනීමට තිබිණි. එහෙත් මල්ලිකාගේ කතාවට ද ඉඩක් ලබාදීමට ඇවැසි බැවින් අපි ඇයට සවන් දුන්නෙමු.

“මම මේ වත්තේ උපන් පදිංචිකාරිණියක්. මේ පරම්පරා තුනක් ජීවත් වෙච්ච ගෙයක්. මගේ මහත්තයා රස්සාව කළේ කොළඹ නගර සභාවේ. අදටත් මම ජීවත් වෙන්නේ මහත්තයගේ පැන්ෂන් එකෙන්. අපිට දුවලා හතර දෙනෙක්. දුවලත් තුන්දෙනෙක් කසාද බැඳලා. කසාද බැඳපු එක දුවක් ජීවත් වෙන්නේ මේ ගෙදර. එයාටත් දුවලා දෙදෙනෙක් ඉන්නවා. ගෙදර ජීවත් වෙන සාමාජිකයන් සංඛ්‍යාව වැඩියි. ඒත් කරන්න දෙයක් නෑ. ඉඩම් අරගෙන ගෙවල් දොරවල් හදාගන්න අපිට වත්කම් නෑ. ඒ වගේම ජීවන වියදමත් එක්ක අලුතෙන් ගෙවල් හැදීම හීනයක් වගෙයි…” සිමෙන්ති, ගඩොලෙන් ඉඳි වූ තනි තට්ටුවේ පුංචි නිවසකි. තරමක් උස තාප්පයකින් නිවස වට කරගෙන සුදු පිරියම් කර පිළිවෙළට නඩත්තු කරන බවක් පෙනේ. 89 වත්තේ ප්‍රධාන පාර දෙපස බොහෝ නිවාස උස තාප්පවලින් ආවරණය කරගෙන ඇති බව ද පෙනේ. 89 වත්තේ ඉහළ කෙළවරේ සිට පහළට කඳු ගැටය බැසගෙන එන අපට නිවසක් ඉදිරිපිට දී වියපත් කාන්තාවක් මුණගැසිණී. හේ එච්. ඒ. ඇසිලින් පෙරේරා ය. ඇයට අවුරුදු අසූවකි. දියණියන් පස්දෙනකුගේ ආදරණීය මවකි. වියපත් මව රැකබලා ගන්නේ රෝගී දියණියකි. ඇය කාලයක් තිස්සේ සිට වකුගඩු රෝගයකින් පීඩා විඳින්නියකි. එහෙයින්ම ඇය විවාහ ජීවිතයට ද ඇතුළත් වී නොමැති බව ඇසිලින් අම්මා අපට කීවාය.

“දැන් දුවටත් පනස් දෙකක් වෙනවා. අනිත් දුවලා නිතර ඇවිත් අපේ දුක සැප බලලා යනවා. ඒ අය තමයි අපිව ජීවත් කරවන්නේ. මගේ දුවලා පස්දෙනාම හොඳට ඉගෙන ගත්තා. දැන් හොඳ රැකියා කරනවා. ඉස්සර ඉඳලා මේ වත්තේ ළමයි හොඳට ඉගෙන ගත්තා. අදටත් එහෙමයි. ඒත් වත්තේ ජීවත් වෙන වෙනත් ජාතීන් නම් ඉගෙන ගන්න වැඩි උනන්දුවක් දක්වන බවක් පෙන්නේ නෑ…” ඇසිලින් අම්මා තම ගම්පියස ගැන හොඳ සෝදිසියෙන් සිටිනා බව හැඟේ. එය එසේ විය යුතුය. ජීවත්වන ගමට, වත්තට ඇල්මක් නැති මිනිසුන් රටට, ජාතියට ආදරය නොකරන බව සැබෑය.

කැටවලමුල්ල වත්තේ යටිතල පහසුකම්වල දැඩි ගැටලුකාරී තත්ත්වයක් තිබෙන බව සැබෑය. ඇතැම් පදිංචිකරුවන් ජීවත්වීම උදෙසා නොනිමි අරගලයක නිරත වී සිටින බව ද කනවැකුණු කතාවලින් පැහැදිලිය. එහෙත් කොළඹ වතු අතර කැටවලමුල්ල වත්තේ පදිංචිකරුවන් යහපත් දිවිපෙවෙතක් ගත කරන බව පෙනේ. නෙළුම් කුලුන යට එවැනි වතු දැකීම හිතට සතුටකි…

තරංග රත්නවීර
ඡායාරූප – ජූඩ් ඩෙල්සිල් පතිරාජ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ වැඩ කඩිනම් කරයි . . .

Sun Oct 16 , 2022
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරය (එල්.එන්.ජී) වන “සොබ දනවි බලාගාරය” කඩිනමින් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය අති නවීන තාක්ෂණයෙන් යුත් ටර්බයිනය  කොළඹ වරායට රැගෙන ආ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. වසර ගණනාවකින් මෙරට කිසිඳු විදුලි ව්‍යාපෘතියක් අලූතින් ආරම්භ කර නැති අතර මෙගාවොට් 350 ක ධාරිතාවයකින් යුත් මෙම ස්වභාවික […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x