විදුලි බිල ජනතාවට දරාගැනීමට නොහැකියි . . .

ජනතාවට බරක් ඇති වැයක් බවට පත්ව ඇති විදුලි අර්බුදය විසඳීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයින් කැඳවීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. මාලබේ, තුසිතපුර අශෝකාරාම විහාරස්ථානයේදී සිය පාර්ලිමේන්තු විමධ්‍යගත අරමුදලෙන් ස්වෙච්ඡා සංවිධාන සඳහා අවශ්‍ය භාණ්ඩ හා උපකරණ බෙදා දීමේ අවස්ථාවේදී අග්‍රමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

විදුලිබල මණ්ඩලයේ දීර්ඝකාලීනව පැවති අඩුපාඩු මත ඇති වූ බරපතල පාඩුව පියවාගැනීමට පාරිභෝගිකයින් වැඩි මිලක් දිය යුතුද යන්න සාධාරණව කල්පනා කල යුතුව තිබේ. විහාරස්ථාන මෙන්ම අනෙකුත් ආගමික ස්ථාන වලටත් ජනතාවටත් විදුලි බිල දරාගැනීමට නොහැකි බව තමාද නිහතමානීව පිළිගන්නා අතර එම ගැටළුව විසඳීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ ඉක්මනින් සාර්ථක වෙතැයි විශ්වාසය පළකරන බවද අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රමාත්‍යවරයා,

මහා ශාසනික විරුවන් ජාතියේ අනන්‍යතාවය ආරක්ෂා කරගෙන ශත වර්ෂයකට වැඩි කලක් පවත්වාගෙන ආ විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් අපේ රටට මාහැඟි දායාදයක්. මෙමගින් ශාසනික දැනුම අසමසම ලෙස ජාත්‍යන්තරය පුරා විහිදී ගිය නිසා මෙම පිරිවෙන් කරා විවිධ රටවල් වල සඟරුවන ඇදී ආවා. ශාස්ත්‍රීය දැනුම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත හැකි ගැඹුරු දැනුමක් විද්‍යාලංකාරය සහ විද්‍යෝදය පිරිවෙන් මගින් බෙදා හරිනු ලැබුවා. අපි කිසිම අන්තයකට බර නොවී අපේ ජීවන රටාව රටේ ආර්ථිකය ඒ වගේම පරිසරයත් ආරක්ෂා කරගෙන ගමන් කළ යුතුයි. මේ සියලු දැනුම තිබියදී විදේශ රටවලින් අවශ්‍ය දේ ගෙනැවිත් අනුකරණවාදී ව ජීවත්වීම නිසා අප අර්බුදයට පත් වුණා. මේ අර්බුදයෙන් අප ගොඩ එන්නම ඕන.

මේ අවට තිබෙන වෙල්යාය මෙන්ම අපේ රටේ‍ සශ්‍රීක කොටස් අපේ අතීත විරුවන් විසින් ජය කෙහෙළි නංවා ශතවර්ෂ කිහිපයක් ගොවිතැන් කළ භූමිය යළිත් හැම අඟලක්ම වගා කරලා අප ආහාරයෙන් යළි ස්වයංපෝෂිත රටක් බවට පරිවර්තනය කරගැනීමේ ඕනෑකම වෙනුවෙන් අධිෂ්ඨානයෙන් ගමන් කළ යුතුයි. එදා කෘෂිකර්ම හා ආහාර අමාත්‍යවරයා ලෙසත් මේ පළාතේ ජනතා නියෝජිතයා ලෙසත් එක්දහස් නමසිය පනස් ගණන් වල පිලිප් ගුණවර්ධන මන්ත්‍රීතුමා පත්වුණා. ඒ අවස්ථාවේදී මාලබේට කිට්ටු සුවිශේෂ ස්ථානයක විශාල වී මෝලක් පිහිටුවනු ලැබුවා.

මේ අර්බුදකාරී ගමන් මගේ අපට හිස ඔසවන්නට සිදුවී තිබෙන්නේ දුක්බර අවස්ථාවන් මගින් බව අපි දන්නවා. මම අවංකව නිහතමානීව ඒ බව ප්‍රකාශ කරනවා. වැඩි දේවල් ගැන බලාපොරොත්තු නැතුව අපිට ඔරොත්තු දෙන අපේ රටට ඔරොත්තු දිය හැකි මාර්ගයේ හිස එසවීමේ ක්‍රියාවලියේ දැනටමත් ගමන් කරමින් සිටිනවා. රටේ අනාගතය වෙනුවෙන් රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් තවත් මේ අර්බුදය ඉදිරියට යා යුතු  නැහැ. විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ විදුලි බිල ගැන මතක් කළා. විදුලි බිල වැඩි බව මාත් පිළිගන්නවා. විහාරස්ථාන ආගමික ස්ථාන වලටත් ජනතාවටත් විදුලි බිල දරාගන්න බැහැ. එය අඩු කරගැනීමට ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක වෙයි කියලා මම විශ්වාස කරනවා. කාගෙවත් පාඩුවට ග්‍රාහකයන් ලෙස මුදල් ගෙවන්න ඕන ද කියන ප්‍රශ්නය අද මතුවී තිබෙනවා. විදුලිබල මණ්ඩලයේ අඩුපාඩු මත ඇති වූ පාඩුව පියවගන්න පාරිභෝගිකයින් වැඩි මිලක් දිය යුතුද යන්න සාධාරණව කල්පනා කළ යුතුයි. මේක විදුලි බල මණ්ඩලය කල්පනා කරලා විසඳාගත යුතුයි. මේ අර්බුදය විසඳන්න බැරි නම් දිගටම විදුලිය බරක් ඇති වැයක් බවට පත්වේවි. මෙම තත්ත්වය නිවැරදි කර ගැනීම සඳහා අවශ්‍ය තීරණ ගැනීමට දැනුමක් ඇති පුද්ගලයින් කැඳවීමට බලාපොරොත්තු වෙනවා.

අමරපුර සිරි සද්ධම්මවංස මහා නිකායේ අනුනායක මාලඹේ තුසිතපුර අශෝකාරාමාධිපති ආචාර්ය පූජ්‍ය දිමියාවේ අමරවංශාභිධාන ස්වාමීන් වහන්සේ ගේ අනුශාසකත්වයෙන් පැවති මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, දායක සභාවේ සභාපති චන්දන පුෂ්පකුමාර සහ නගරික මන්ත්‍රී චාමර ජයලත් යන  සහභාගි වූහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වසන්ත මුදලිගේට නිදහස ඉල්ලා දැවැන්ත විරෝධයක් . . .

Sun Oct 23 , 2022
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා තංගල්ලේ දී අද (23) පස්වරුවේ විරෝධතාවයක් පැවැත්වීමට නියමිතය. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන මෙම විරෝධතාවට සහභාගීවීම සඳහා පිටකොටුව, ගාල්ල ආදී දුම්රිය ස්ථානවල සිට දුම්රියවල නැගී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x