ද්විත්ව  පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීම ඇතුළු විධිවිධාන රැසක් ඇතුළත් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද (31) සිට බලාත්මක විය. එම පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය සහතිකය අද (31) පෙරවරුවේ  සටහන්  කළේය. පනත බලාත්මක වූයේ ඒ අනුවය.22 වැනි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී  විශේෂ බහුතරයකින් පසුගියදා (21) වැනිදා සම්මත විය. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත්  අගෝස්තු මස 10  වැනිදා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදය පසුගිය මස  20 සහ 21 යන දිනවල පැවැත්විණ.දෙවනවර කියැවීම අවසානයේ පැවති ඡන්ද විමසීමේදී පනතට පක්ෂව ඡන්ද 179 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි. අනතුරුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන එකතු කිරීමෙන්  අනතුරුව පැවැති තෙවනවර කියවීමේ  ඡන්ද විමසීමේදී  ඊට පක්ෂව ඡන්ද 174 ක්ද  විපක්ෂව  ඡන්දයක්ද හිමිවිය.

පනත් කෙටුම්පත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලෙස සම්මත වුවත් තාක්ෂණික කාරණයක් හේතුවෙන් එය බලාත්මක වන්නේ  21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙසය. පනත් කෙටුම්පතට සහතිකය තබන අවස්ථාවට පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායකද පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්, කාර්ය මණ්ඩල ප්‍රධානී  නීතිඥ කුෂානී රෝහණධීරද සහභාගීවූහ.