මෙතෙක් අය වී නැති නිවාස ණය අය කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරින්ට උපදෙස් දෙයි. පාර්ලිමේන්තුවේ උපදේශක කාරක සභාවේ ඊළඟ රැස්වීමට එම වැඩපිළීවෙල ඉදිරිපත් කරන ලෙස ද ඇමතිවරයා එම නිළධාරීන්ට උපදෙස් දෙයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දී ඇමතිවරයා කියා සිටියේ අධිකාරියෙන් අඩු පොළියට නිවාස ණය ලබාගත් ඇතැමුන් ඒවා නිවාස ඉදිකිරීමට භාවිතා කර නොමැති බවයි. බොහෝ නිවාස ණය වලින් ලබා දී ඇත්තේ පළමු වාරිකය පමණක් බවත් මේ නිසා බොහෝ ගැටලු මතුව ඇති බවත් පෙන්වා දුන් ඇමතිවරයා මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් ලබා ගත යුතු බව ද කීවේය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියආරච්චි මෙහිදී සඳහන් කළේ 2015 -2019 කාලයේ දී මෙලෙස ආධාර ලබාදුන් නිවාස 92,386 ක් තවමත් සම්පූර්ණ කිරීමට ඇති බවයි. ඒ සඳහා අවශ්‍ය මුදල රුපියල් මිලියන 24,380කි. නිවාස ආධාර මුදල සම්පූර්ණයෙන් ලබා නොදීම නිසා ඔවුන්ගෙන් වාරික අය කර ගැනීමේ ගැටලු පවතින බව ද සභාපතිවරයා කීවේය. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් මේ දක්වා ලබාදී ඇති ණය මුදලින් තවත් රුපියල් බිලියන 10කට ආසන්න මුදලක් අය කර ගැනීමට ඇතැයි ද සභාපතිවරයා කීවේය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ නතර වී ඇති නිවාස ව්‍යාපෘති ආධාර හා ණය වැඩසටහන් ලබන වසර මුල සිට යළි ආරම්භ කරන බව පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මෙහි දී අවධාරණය කළේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මේ වන විට ආරම්භ කර ඇති පවතින තත්ත්වය තුළ නතර වූ ව්‍යාපෘති ආධාර හා ණය වැඩසටහන් අවසන් කරන තුරු නව ව්‍යාපෘති ආරම්භ නොකිරීමට තිරණය කර ඇති බවයි.
මේ අතර සියක් නගර හා නගර සැලසුම් සම්බන්ධයෙන් වත්මන් ප්‍රගතිය ද මෙහිදි සාකච්ඡාවට ලක්විය. ඇමතිවරයා කීවේ පවතින ආර්ථික තත්ත්වය මත නාගරික සංවර්ධන අධිකාරියේ නගර සංවර්ධන කටයුතු තාවකාලිව නතර වී ඇති බවයි. එහෙත් නගර සැලසුම් සැකසීම හා ඒවා ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරිම වැනි නීත්‍යානුකුල කටයුතු මේ දිනවල අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද ඔහු කීවේය.
නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර එහි දි කීවේ පළාත් පාලන බල ප්‍රදේශවලට අයත් නගර 272න් නගර 70 ක සැලසුම් මේ වන විට සකස් කර අවසන් බවය. ලබන වසර අවසන් වනවිට සියලු නගර සංවර්ධන සැලසුම් සකස් කර අවසන් කරන බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.
දැනට නතර වී ඇති නගර සංවර්ධන ව්‍යාපෘති ලබන වසර මුල සිට යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව මෙහි දී පැවසු ඇමති ප්‍රසන්න රණතුංග දැනටමත් ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙන බව ද කීවේය.
– ප්‍රදීප් අනුර කුමාර