මහින්දට-නාමල්ට උසාවියෙන් නොතීසි නිකුත් කරයි . . .

ගාලු මුවදොර පැවැති “ගෝඨාගෝ ගම” අරගල භූමියට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ පෙත්සම් 05 ක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී තිබේ.

ඉකුත් මැයි මස 09 වනදා ගාලු මුවදොර පැවැති “ගෝඨාගෝ ගම” අරගල භූමියට කඩාවැදී පහරදීමේ සිද්ධිය තුළින් සිය මූලික අයිතීන් උල්ලංඝනයවූ බව පවසමින් අරගලකරුවන් 05 දෙනෙක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව අදාළ පෙත්සම් සම්බන්ධයෙන් ජුනි මස 22 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ඇතුළු පිරිසක් වෙත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත.

ලහිරු චානක ඇතුළු අරගලකරුවන් පස් දෙනෙකු විසින් මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

ඒවා අද (09) විජිත් මළල්ගොඩ සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකාබැලුනි. දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම් විභාගයට ගැනීම සඳහා අවසර දෙන බවය.

සාමකාමී අරගලවලට පහරදීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ සඳහා වූ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා නම් කර තිබුණද ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වාගෙන යෑමට අපේක්ෂා නොකරන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව ශවේන්ද්‍ර සිල්වා නඩු කටයුතුවලින් මුදාහැරීමට ද නියම කෙරුණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රනිල්ට හූ සංග්‍රහයක් . . .

Sun Dec 11 , 2022
  ජනාධිපති රනිල් වික්‍රමසිංහට නීති විද්‍යාලයේ සිසුන් පිරිසක් හූ තබන අයුරු දැක්වෙන වීඩියෝ පට කිහිපයක් සමාජ මාධ්‍ය වල හුවමාරු වේ. කොළඹ විශ්ව විද්‍යාලයේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් පැවති වැඩසටහනකට සහභාගිවීමේ අවස්ථාවේදීම මෙම සිදුවීම සිදුව ඇති බවද සඳහන්ය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x