රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවා ගන්නවත් බැරි තත්ත්වයක් . . .

පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමය යටතේ  හෝ පවතින ක්‍රමය යටතේ හෝ ඕනෑම ක්‍රමයකට පවත්වනවානම් එයට මුහුණදීමට පොදුජන පෙරමුණ සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

මැතිවරණයට මුහුණදීම සදහා පොදුජන පෙරමුණ මූලික කටයුතු මේ වනවිටත් අවසන් කර ඇති අතර අපේක්ෂකයින් තෝරාගැනීම සදහා අයඳුම්පත්‍ර කැඳවීමේ  කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේ අද (21) පැවති ගම්පහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් පසුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13හිම  පළාත් පාලන මන්ත්‍රීවරුන් කැඳවා මැතිවරණයට තරඟ කිරීමේ වැඩපිළිවෙළ සකස්කර අවසන් කර ඇති බවයි. රට ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙන මොහොතක මැතිවරණය පැවැත්වීමට රුපියල් බිලියන 20ක් පමණ  වැයවන  බවත් ජනතාව එමඟින් තවත් පීඩාවට පත්වන බවත් ඔහු කීය.

එහෙත් මැතිවරණය කල්දමා මැතිවරණය කල් දැම්මාය යන චෝදනාවට ලක්වීමට ආණ්ඩුවට අවශ්‍යතාවයක් නැතැයි අවධාරණය කළ ඇමතිවරයා ආණ්ඩුවේ ස්ථාවරය වන්නේ ද නියමිත පරිදි මැතිවරණ පැවැත්විය යුතුය යන්න බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා මෙසේද පැවසීය.

මැතිවරණය කල් දැමීමට පක්ෂයක් ලෙස අපේ කිසිම බළාපොරොත්තුවක් නැහැ. අපි මේ වනවිටත් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13 ම පළාත් පාලන මන්ත්‍රීවරුන් කැඳවාගෙන මැතිවරණයේ වැඩපිළිවෙළ සකස්කරලා නාමයෝජනා සඳහාත් සූදානමින් ඉන්නෙ.

පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් වැඩි බව බහුතරයක් දෙනා කියනව. මේක සියයට පනහකින් අඩුකරල වියදම් අඩු කරන්න කියල හැමෝම කියනවා. මේ තත්ත්වය ඇති කළේ යහපාලන ආණ්ඩුවයි. දැන් ප්‍රාදේශීය සභාවල ඉඩත් මදි වැඩ කරන්න. ඒ නිසා පළාත් පාලන මන්ත්‍රීධූර මීට වඩා අඩු වෙනවනම් හොඳ බව මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මම බස්නාහිර පළාත් සභාවේ පළාත් පාලන විෂය භාර ඇමතිවරයා වශයෙන් කටයුතු කළා. මම ඒ අත්දැකීම් එක්කයි කතා කරන්නේ. පළාත් පාලන මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවා නම් අපි ඒකටත් සූදානම්. වර්තමානයේ පවතින ක්‍රමයට පවත්වනවා නම් අපි ඒකටත් සූදානම්.

රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවා ගන්නවත් බැරි තත්ත්වයක් තියෙන්නේ. නමුත් පසුගිය කාලයේ ජනතාව මුහුණ දුන්නු  ඉන්ධන හා ගෑස් අර්බුදය  මේ වනවිට කළමනාකරණය කරල තියෙනවා. දැන් තියෙන ලොකුම අර්බුදය තමයි බඩුමිල කළමනාකරණය  කර ගැනීම. ඒ වගේම ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩාගෙන වැටිලා. මේ අර්බුද විසඳගන්න අවශ්‍ය පසුබිම මේ වනවිට හදාගෙන යනවා. ඒ නිසා මේ මොහොතේ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය ජනතාව තීන්දු කළ යුතුයි. පක්ෂයක් විදියට අපි ඒකට සූදානම්.

රට මුහුණ දෙන ආර්ථික අර්බුදය තුළ මැතිවරණයක් කරන්න ගියොත් රුපියල් බිලියන 20ක් පමණ  වැයවන බව විපක්ෂය දන්නවා. විපක්ෂයේ ඉන්නෙ මෝඩයෝ නෙවෙයි. මේ වගේ මොහොතක මැතිවරණයකට ගියොත් ජනතාව තවත් පීඩාවට පත්වෙනවා. නමුත් මැතිවරණය කල් දැම්මොත් මැතිවරණ කල් දැම්මා කියල විපක්ෂයෙන් අපිට චෝදනා එල්ලවෙනවා. අපිට එහෙම චෝදනාවකට ලක්වෙන්න අවශ්‍ය නෑ.  ඒ නිසා අපි මැතිවරණයට සූදානම්.

මේ පවතින මැතිවරණ ක්‍රමය විකෘති සහගතයි. උදාහරණයක් විදියට කිව්වොත් මීගමුවේ අපිට බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් නෑ. නමුත් ඉන්නෙ අපේ සභාපතිවරයෙක්. අපිට බහුතර මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් ඉන්න පළාත් පාලන ආයතනවල සභාපතිවරයා පත්කර ගන්න අපිට බැහැ.

මේ පවතින ක්‍රමය තුළ සල්ලිකාරයන්ට, කුඩුකාරයන්ට සල්ලි වියදම් කරල මැතිවරණවලට එන්න පුළුවන්. නමුත් සාමාන්‍ය මිනිහෙක්ට මැතිවරණයකට එන්න බාධාවන් ගොඩක් තියෙනවා. ඒ නිසා අනවශ්‍ය වියදම් කපා හැරීම සදහා සියලුම මැතිවරණ ක්‍රමවල වෙනසක් සිදුවිය යුතු බව තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.

  • ප්‍රදීප් අනුර කුමාර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහින්ද රාජපක්‍ෂට ‘මයිනා’ කියන්නේ ඇයි ? . . .

Wed Dec 21 , 2022
එළඹෙන මැතිවරණයේදී ද සියලුම දේශපාලන පක්ෂ අභිබවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිය ගන්නා බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන සඳහන් කරයි. මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුතු පොදුජන පෙරමුණෙන් පිට වෙන කිසිවෙකුට ඡන්දයක් ලබා නොදෙන බව අදටද ගමේ පාක්ෂිකයන් පවසන බවද හෙතෙම පැවසීය. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x