කැලැන්ඩර්, දිනපොත් නොමැති 2023 වසර . . .

උදාවී ඇත්තේ කැලැන්ඩරයක් දිනපොතක් පවා නොමැති වසරකි. මෙරට කැලැන්ඩර දිනපොත් මුද්‍රණය සියයට අනූවකින් පමණ ඇනහිට ඇතැයි ඉකුත්දා ශ්‍රී ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය පවා පිළිගෙන තිබුණි. එනිසාම, පෙර කිසිදාක සිදු නොවූ පරිද්දෙන් 2023 වසරේ සිදු වූ මෙම කැලැන්ඩර් සන්තෑසිය පිළිබඳ සොයා බැලීමට අප තීරණය කළෙමු.

සමස්ත මුද්‍රණ කර්මාන්තයම පසුගිය වසරේ කබලෙන් ලිපට වැටුණේ ඩොලර් අර්බුදය හේතුවෙන්ය. කඩදාසි මිල සීඝ්‍රයෙන් ඉහළ යාමත්, ආනයන සීමා සමඟ ඇති වූ අමුද්‍රව්‍ය හිඟයත් මෙම කඩා වැටීම කෙරෙහි මූලික හේතුවයි. වර්තමානයේ ඉස්මතු වී පෙනෙන කැලැන්ඩර් දින පොත් හිඟය මුද්‍රණ කර්මාන්තය කඩා වැටීමේ එක් පිළිබිඹුවක් පමණක් බව ආරම්භයේදීම සඳහන් කළ යුතුය. මේ වනවිට පුවත්පත්, නවකතා කෙටිකතා පොත්පත් මුද්‍රණයේ සිට කුඩා බිල්පත් මුද්‍රණය දක්වා මෙරට සියලු මුද්‍රණ කටයුතු ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පවතී.

ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන වශයෙන් කැලැන්ඩර් දිනපොත් මුද්‍රණය වන්නේ අලෙවිය සඳහා නොවේ. මෙරට ඇති රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සිය සේවකයන්ට සහ ගනුදෙනුකරුවන්ට ඉදිරි වසර වෙනුවෙන් තිළිණ කිරීමට කැලැන්ඩර් දින පොත් මුද්‍රණය කරයි. එහෙත් ගෙවී ගිය වසර තුනක හතරක කාලය තුළ ක්‍රමයෙන් ආයතන විසින් සිය සේවකයන්ට සහ පාරිභෝගිකයන්ට ලබාදුන් කැලැන්ඩර් දිනපොත් ප්‍රමාණිකව ක්‍රමයෙන් අඩුවී ගියේය. මුද්‍රණ පිරිවැය ඉහළ යාම හේතු කොටගෙන ක්‍රමිකව සිදු වූ ප්‍රමාණාත්මක අඩුවීමේ කූටප්‍රාප්තියට අප දැන් එළඹ ඇතැයි පැහැදිලි වේ.

සාමාන්‍යයෙන් මෙරට කැලැන්ඩර් මුද්‍රණය ආරම්භ වන්නේ අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ඉදිරි වසරේ නිවාඩු දින ඇතුළත් ගැසට්ටුව නිකුත් වීමෙන් අනතුරුවයි. කැලැන්ඩර් මුද්‍රණය සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලදී නිමවේ. බොහෝවිට දෙසැම්බර් පළමු වැනිදා වනවිට මුද්‍රිත කැලැන්ඩර සහ දිනපොත් අදාළ ආයතන වෙත භාරදීමට මුද්‍රණාල හිමියෝ බැඳී සිටිති.

වසර කිහිපයකට ඉහත මෙරට කැලැන්ඩර් දිනපොත් මුද්‍රණය කරවා ගැනීම සඳහා ආයතන අතර විශාල තරගයක් පැවතුණි. නව වසරේ සිය පාරිභෝගික ජාලය සතුටු කිරීමේ උපාය ලෙස බොහෝ වාණිජ ආයතන අනුගමනය කළේ කැලැන්ඩර් දිනපොත් බෙදාදීමේ ක්‍රමවේදයයි. සිය තරගකාරී සමාගම්වලට අභියෝගයක් වන පරිදි හොඳ තත්ත්වයේ කැලැන්ඩර දිනපොත් මුද්‍රණය කිරීමත්, ගනුදෙනුකරුවන්ට සැලකිය යුතු කැලැන්ඩර දිනපොත් ප්‍රමාණයක් ලබාදීමත් බොහෝ වාණිජ ආයතන වන සම්ප්‍රදාය විය.

මෙරට සාමාන්‍ය පාරිභෝගික ජනතාව අතරින් සමහරෙක් වර්ෂාවසානයේ අමුතු උමතුවක් සහිත කැලැන්ඩර් දිනපොත් ලෝලීන් වන්නේ මෙම වටපිටාව මතය. මෙම වසරේ එම කැලැන්ඩර් දිනපොත් ලෝලීන්ට තබා සත්‍ය වශයෙන්ම අවශ්‍යතාව පවතින අයටද දිනපොතක් කැලැන්ඩරයක් සොයා ගැනීම අපහසු විය. ඇතැම් ගනුදෙනුකරුවෝ බැංකු සහ ආයතනවලින් කැලැන්ඩරේ දිනපොත් ඉල්ලා රණ්ඩුසරුවල් කළ පුවත් ද පසුගිය සතියේ වාර්තා වී තිබුණි.

මුද්‍රණාල හිමියන් පවසන පරිදි  ඉකුත් වසරේ බොහෝ වාණිජ ආයතන මිල ගණන් කැඳවීමෙන් පසුව, කැලැන්ඩර් දිනපොත් මුද්‍රණය අතහැර දමා තිබේ. මුද්‍රණය සඳහා එකඟ වූ සෙසු ආයතන පිටු 12 දින කැලැන්ඩර් වෙනුවට පිටු 6 සහ 4 බැගින් හකුලනු ලැබූ කැලැන්ඩර් මුද්‍රණය කරවා ගැනීමට පෙළඹී ඇත.

මේ අතර ඉකුත් වසරවලදී කැලැන්ඩර් වර්ග කිහිපයක් මුද්‍රණය කළ ආයතන එක් වර්ගයකට සීමා වීමද දැකගත හැකි බව මුද්‍රණ ශාලා හිමියෝ කියා සිටිති. එසේම ඔවුන් තවදුරටත් මැසිවිලි නගන්නේ ආයතන වෙත තමන් විසින් මිල ගණන් ඉදිරිපත් කරනු ලැබූවද සති කිහිපයක් තුළ අමුද්‍රව්‍ය මිල වැඩිවීම සමඟ විශාල ගැටලු රාශියකට මුහුණ දුන් බව පවසමිනි. කැලැන්ඩර් දිනපොත් මෙරට සාමාන්‍ය මුද්‍රණ කර්මාන්තයේ ප්‍රධාන යැපුම් මාර්ගය බව මෙහිදී සඳහන් කළ යුතුය.

කැලැන්ඩර් සීසන් එක ලෙස මුද්‍රණ කර්මාන්තකරුවන් හඳුන්වන්නේ වසරේ අවසාන කාර්තුවයි. සැබැවින්ම මෙම මාස කිහිපය මුද්‍රණ කර්මාන්තයේ ස්වර්ණමය කාලයයි. වෙනදාට මෙම කාලසීමාව එළැඹෙන විට මුද්‍රණාල සිය යන්ත්‍රෝපකරණවල සියලු අලුත්වැඩියා කටයුතු සිදුකොට කැලැන්ඩර් මුද්‍රණය සඳහා සූදානම් වෙති. තදබදය වැඩි වූ කාලවලට ඉදිරි පෙබරවාරි, මාර්තු දක්වා කැලැන්ඩර් සීසන් එක පැවැති බව කර්මාන්තකරුවෝ සිහි කරති.

කෙසේ වෙතත් වර්තමාන කඩාවැටීම හමුවේ බොහෝ මුද්‍රණාල වැසීයාමේ අවදානමක් නිර්මාණය වී ඇතැයිද එම කර්මාන්තයේ නියුතු පිරිස් පෙන්වා දෙති. එසේම බොහෝ සේවකයන්ගේ රැකියා මේ වනවිටත් අහිමි වී ගොස් අවසානය. වෙනදාට මුද්‍රණාලවලට අමතර සේවකයන් පවා වර්ෂ අවසානයේ එක්කර ගැනීම සිදුවේ. එහෙත් මෙම වසරේ තත්ත්වය කනපිට හැරී ඇත. ස්ථීර සේවකයන්ට පවා රැකියා අහිමි වන තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

වර්තමාන ආර්ථික අර්බුදයත් සමග මිල ගණන්  වැඩිවී ඇත්තේ කඩදාසිවල පමණක් නොවේ. තීන්ත, ප්ලේට් ආදි වූ සියලුම මුද්‍රණ අමුද්‍රව්‍යවල මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. ඒ අනුව කැලැන්ඩර් සහ දිනපොත් මුද්‍රණ මිල ගණන් පසුගිය වසරට සාපේක්ෂව දෙතුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි අපට වාර්තා වේ.

උදාහරණයක් ලෙස පසුගිය වසරේ රුපියල් 150ක් පමණ වූ සාමාන්‍ය ප්‍රමාණයේ (18*X24*) දින කැලැන්ඩරයක මුද්‍රණ වටිනාකම මෙම වසරේදී රුපියල් 300 කට ආසන්න වී ඇත. පසුගිය වසරේ රුපියල් 500ත් 600ත් අතර වූ සාමාන්‍ය ප්‍රමාණයේ මැනේජ්මන්ට් දිනපොතක මුද්‍රණ වටිනාකම මෙම වසරේ රුපියල් 1200කට ආසන්න වී තිබේ. එපමණක් නොව කැලැන්ඩර් එල්ලන ලෝහ පටි අඩියක මිල වසරක් තුළ රුපියල් 6 යේ සිට රුපියල් 17 දක්වා ඉහළ ගොස් ඇතැයිද දැන ගැනීමට ලැබේ.
මේ අතර බොහෝ ආයතන දිනපොත් මුද්‍රණය මුළුමනින්ම අතහැර දමා ඇති බව මුද්‍රණශාලා හිමියෝ පවසති. පසුගිය වසරවල දිනපොතක ප්‍රමාණය ක්‍රමයෙන් කුඩා කිරීමට බොහෝ ආයතන කටයුතු කර තිබුණි. දිනපොත් මුද්‍රණය ප්‍රාමාණිකව අඩුවීම වසර කිහිපයක් තිස්සේ සිදුවිය. කෙසේ වෙතත් මෙම වසරේදී දිනපොත් මුද්‍රණය, කැලැන්ඩර් මුද්‍රණයටත් වඩා බරපතළ ලෙස අභියෝගයට ලක්ව ඇත.

ආයතන ඉලක්ක කර නොගනිමින් සෘජුව පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා මුද්‍රණය කළ දිනපොත්, වසර සැලසුම් සඳහා මෙම වසරේ එතරම් ඉල්ලුමක් නොමැති බව වෙළඳුන්ද පවසති. කෙසේ වෙතත් කොළඹ නගරයේ මුද්‍රණය කළ දින පොත් අලෙවි කරන ස්ථානවලින් දිනපොත් කිහිපයක් රුගෙන ගොස් තමන්ගේ නම එහි මුද්‍රණය කොට සීමා සහිතව සිය සේවකයන් වෙත බෙදාදීමට ඇතැම් ආයතන කටයුතු කර ඇති බවද කියැවේ.

කැලැන්ඩරයක් දිනපොතක් යනු ආහාරපාන තරම් අත්‍යවශ්‍ය දෙයක් නොවන බව සැබෑවකි. මේ වනවිට කැලැන්ඩර් දිනපොත් ඩිජිටල් වී ඇති බව බවද සැබෑවකි. එහෙත් මෙරට තුළ තවදුරටත් මුද්‍රිත කැලැන්ඩර් දිනපොත් අවශ්‍යතාවය අහෝසි වී ගොස් නොමැත. එහෙත් වර්තමාන ආර්ථික අර්බුද සමයේ වුවද අධික මුදලක් ගෙවා අනවශ්‍ය ලෙස කැලැන්ඩර් දිනපොත් මුද්‍රණය කරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සිටින බව අප දනිමු. එවන් පිරිස්වලට උල්පන්දම් දීමේ අවශ්‍යතාවයක් අප සතු නොවේ.

එහෙත් පොදුවේ ආයතන ප්‍රවර්ධන ක්‍රියාවලියට සේම මහජන අවශ්‍යතා සහ කාර්යාලීය අවශ්‍යතා සඳහා කැලැන්ඩර් දිනපොත් රටට ඇවැසි බව අපගේ පිළිගැනීමයි. එසේම මෙය කර්මාන්තයකි. දහස් සංඛ්‍යාත දෙනෙක් මෙම කර්මාන්තයෙන් යැපෙති. එමනිසාම මෙම කර්මාන්තය වැනසී යාමට ඉඩදී බලා සිටීම බලධාරීන්ගේ යුතුකම නොවේ.

මුද්‍රණ කර්මාන්තයට යම් සහනයක් ලබාදෙන බව පසුගිය සතියේ විජයදාස රාජපක්ෂ වැනි අමාත්‍යවරුන් කී බව අපි දුටුවෙමු. යම් ආනයන සීමා සහ බදු නිදහස් කිරීමක් තුළ මෙම කර්මාන්තය රුකගැනීමට කටයුතු කිරීම ඉතා වැදගත්ය. ඇතැම් තැන්වලදී අසන්නට ලැබුණු පරිදි කඩදාසි සහ මුද්‍රණ අමුද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම්ද වර්තමාන අර්බුදකාරී වටපිටාව තුළ නිර්මාණය වී තිබේ. මෙම සියලු තත්ත්වයන් කඩිනමින් නිරාකරණය කිරීමේ වගකීම මෙරට රාජ්‍ය බලධාරීන්ගේ වගකීමයි. ඔවුන් එම වගකීම ඉටුකරන තුරු අපි බලා සිටිමු.

  • චමිඳු නිසල් ද සිල්වා
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මේක තීරණාත්මක මැතිවරණයක් - අනුර දිසානායක . . .

Sun Jan 8 , 2023
“ඡන්දය කල්දැමීම සඳහා ආණ්ඩු දරණ සියලු ප්‍රයත්න පරාජය කරලා ජාතික ජන බලවේගය මේ මැතිවරණයට තරඟ වදිනවා. ඒ වගේම සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර ගන්නවා. එම ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම සිදුවන සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි. ඒ වෙනුවෙන් සියලු දෙනාට පෙළගැසෙන ලෙස අපි ඉල්ලනවා.” යැයි ජාතික ජන බලවේගයේ නායක […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x