වෛද්‍යවරුන් සතියක දැවැන්ත විරෝධතාවයක . . .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

අසාධාරණ හා අත්තනෝමතික බදු ප්‍රතිපත්ති  පරාජය කිරීම සඳහා වන ඉදිරි වැඩපිළිවෙල.

ජනතාවගේ සහ වෘත්තිකයන්ගේ හඬට සවන් නොදෙමින් පසුගිය මාසයේදී පාර්ලිමේන්තුව හරහා අත්තනෝමතික ලෙස සම්මත කරගත් සංශෝධිත දේශීය ආදායම් පනත හරහා ක්‍රියාත්මක කිරීමට සැරසෙන බදු ප්‍රතිපත්තීන් සියලු පාර්ශවයන්ගේ දෝෂදර්ශනයට ලක් වී ඇති බව නොරහසකි.

ආර්ථික අර්බුදයක් ඇති රටක, වේගයෙන් ඉහළ යන ජීවන වියදම, පොලී අනුපාත,  විරැකියාව සහ දුගී බව හමුවේ වක්‍ර බදු සහ ඍජු බදු තවත් ඉහළ නැංවීම ජනතාවට අතිරේක පීඩනයක් ඇති කරවන්නකි.

ජනතාව තලා පෙලා එකතු කරගන්නා බදු මුදල් වියදම් කිරීමට පාරදෘශ්‍ය ක්‍රියාවලියක් නොමැති වීමත්, හිත මිතුරන්ට ලබා දෙන බදු සහන මෙන්ම පාලනයක් නොමැති වංචාව, දූෂණය සහ නාස්තියත් හේතුවෙන් ශ්‍රී ලංකාව තවත් අර්බුදයක් කරා ගමන් කරමින් පවතී.

බදු ගෙවීම පුරවැසි වගකීමකි. එහෙත් කෙටිකාලීනව හිමිවන සුළු ප්‍රතිලාභයක් නිසා රටේ අනාගතය දැඩි අනතුරක හෙලීමට මෙම බදු සංශෝධන හේතු වනු ඇත. එබැවින් මෙම අසාධාරණ බදු සංශෝධන ආපසු හරවා ජනතාවට හිතකර සාධාරණ බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම වෙනුවෙන් ඉතිහාසයේ දැවැන්තම වෘත්තිකයින්ගේ එකමුතුව මේ වන විට නිර්මාණය වෙමින් පවතී.

මෙම අසාධාරණ බදු ප්‍රතිපත්තියට ස්වකීය විරෝධය පාමින් සියලු වෛද්‍යවරුන්ගේ අත්සනින් යුත් විරෝධතා පෙත්සමක් මේ වන විට මුලු දිවයින පුරාම සියලුම රෝහල් වල අත්සන් කරමින් පවතී. දැනට අවසන් අදියරේ පවතින එම පෙත්සම මෙම සතියේදි ජනාධිපතිතුමාට බාරදීමට නියමිතය.

ඊට අනුරූපව විදුලි ඉංජිනේරුවරුන්, බැංකු වෘත්තිකයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආදී අනෙක් වෘත්තිකයන්ද මේ වන විට විරෝධතා පෙත්සමක් අත්සන් කරමින් පවතී.

මෙම ගැටළුව සම්බන්ධයෙන් පසුගිය සතියේ දී වෘත්තීයවේදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතර සාකච්ඡාවක් පැවති අතර ගැටලුව පිළිබඳව දැනුවත්ව සිටියදීත්  ඒ සඳහා රජය පාර්ශවයෙන් සුබවාදී පිළිතුරක් නොලැබීම අවාසනාවන්ත තත්වයකි.

ඉදිරියටත් රජයේ ස්ථාවරය වෙනස් නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග තීව්‍ර කරමින් එළැඹෙන ජනවාරි මස අවසන් සතිය කළු විරෝධතා සතියක් බවට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වනවිට තීරණය කර ඇත.

ජනවාරි මස 23 වනදායින් ආරම්භ වන එම සතියේ දී අසාධාරණ බදු සංශෝධන සහ ඖෂධ හිඟයට විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් විරෝධතා දැක්වීමට නියමිතය. සෞඛ්‍ය සේවයේ සහ ඉන් පරිබාහිර අනෙක් සියලූ වෘත්තිකයින් මෙන්ම මහජනතාව ද එක්කර ගනිමින් මෙම විරෝධතා සතිය දැවැන්ත විරෝධතාවක් බවට පරිවර්තනය කිරීමට මේ වන විට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සියලු කටයුතු සූදානම් කර ඇත.

වෘත්තීයවේදීන්ගේ සහ ජනතාවගේ හඬට ඉදිරියටත් සවන් නොදී තවදුරටත් අසාධාරණ සහ අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට රජය සැලසුම් කරන්නේ නම්, ඊට විරුද්ධව සියලු පාර්ශව එක් කරගනිමින් ජනතා හිතවාදී බදු ක්‍රමයක් සහ රාජ්‍ය ප්‍රතිපත්තීන් වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග සහ සටන් තව තවත් තීව්‍ර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුබට නොවන බව අවධාරණය කරමු.

වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සේපාල් අමරසිංහට පහරදීමක් . . .

Mon Jan 9 , 2023
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේපාල් අමරසිංහට බන්ධනාගාර නිළධාරීන් පිරිසක් හා සැකකරුවන් පිරිසක් පහර දුන් බවට පැමිණිලි කර ඇත. ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හා මානව හිමිකම් කොමිසන් සභාව විසින් විමර්ශන ආරම්භ කර ඇත. බන්ධනාගාරයේ සිටින සේපාල් අමරසිංහට එතුළදී හිංසා සිදු වුණ බවට ඔහුගේ ඥාතීන් පිරිසක් විසින් කර ඇති පැමිණිල්ලක් අනුව මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x