වතුර බිලත් ළඟදීම ඉහළට . . .

ජල ගාස්තුව ද ළඟදී ම ඉහළ දැමීමට සිදුව ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පැවසීය. විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ළඟදී ම ජල ගාස්තුව ද ඉහළ දැමීමට සිදුවන බව ත්, ඊට ප්‍රධානතම හේතුව බොහෝ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදුලි බලයෙන් වීම බවත් හෙතෙම කීය. මාතලේ නගර ශාලාවේදී ඊයේ (පෙබ. 19) පැවති ජනහමුවකදී අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා…

“රටේ විදුලිය ගාස්තු වැඩි වෙලා. ඒ නිසා ළඟදී ම ජල ගාස්තුත් වැඩි වේවි. මොකද බොහෝ ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදුලි බලය උපයෝගි කර ගෙනයි. මේ නිසා ජල සම්පාදන කටයුතුවල වියදම් වැඩි වෙලා තියෙන්නේ. එම නිසා අකැමැත්තෙන් වුව ද ජල ගාස්තුවත් ළඟදී ම වැඩි කරන්න සිදු වේවි. පවතින තත්ත්වය තුළ රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කරතාව අපිට වැටහෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් අස්සන් කිරීමෙන් අනතුරුව සූර්ය බලයෙන් ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කරනවා. එමගින් පිරිවැය අඩුවෙනවා. ඊට පසු ජල ගාස්තුව ද අඩු කළ හැකි යි. රට තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවා බාධවකින් තොරව නොමිලේ ලබා දීමට නම් රජයට ආදායම් අවශ්‍යයි. එවැනි අර්බුද නිසා බදු වැඩි කරන්න සිදුව තිබෙනවා. එබැවින් රට සහ අනාගත පරපුර වෙනුවෙන් නියමිත කාල සීමාව තුළ ඉවසීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා. රටේ වත්මන් තත්ත්වය තිරසර නැතත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට රජය පියවර ගන්නවා. රුපියල් 1,000 වැටුප් වැඩිවීමෙන් පසුව වෘත්තීය සමිති හා වතු සමාගම් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. එහෙම ගැටුම් ඇති කරගෙන ගමනක් යන්න බැහැ. හවුල් ගිවිසුමකට එනවා යැයි කියන සමාගම් පිටිපස්සෙන් වෙන දෙයක් කරනවා. මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබෙනවා. අපි සමාගම්වලට රජය සමග සාකච්ඡා කොට වතු කම්කරුවන්ට සාධාරණ වැටුප් ගෙවීමට අවස්ථාවක් ලබා දෙනවා. සමාගම් මෙම අවස්ථාව මඟහැරියොත් අපි අනිවාර්යයෙන්ම වැටුප් නියම කිරීමේ සභාවට යනවා. රුපියල් 2,000 සිට 2,500 දක්වා වතු කම්කරු වැටුප වැඩි කිරීමට පියවර ගන්නවා. ලංකා කම්කරු කොංග්‍රසය මැතිවරණවලට බිය නැහැ. ඒත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය පළාත් පාලන මැතිවරණයක් නොව ජනාධිපතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක්. ඒකෙන් පමණයි රටේ වෙනසක් ඇති කරන්න පුළුවන් වන්නේ,” යැයි කීය.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරදපාණ්ඩි රාමේෂ්වරන් හා ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රාදේශීය දේශපාලඥයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නුවරඑළිය චන්ද්‍රසිරි මහගම

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජාතික රෝහලේ සේවකයන් හෙරොයින් සමග අත්ඩංගුවට . . .

Fri Feb 24 , 2023
කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් දෙදෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියදී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සදහන් කරන්නේ මෙම පුද්ගලයන් දෙදෙනා තදින්ම මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බවයි. ඔවුන් හෙරොයින් ජාවාරමට සම්බන්දදැයි සෙවීමට විමර්ශනයක් ද ආරම්භ කර තිබේ. මීට පෙර ද ජාතික රෝහලේ සුළු සේවිකාවක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී කටුනායක ප්‍රදේශයේදී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x