පාස්කු ඉරුදින මුස්ලිම් අන්තවාදීන් විසින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ට හිටපු ජනාධිපති, හිටපු අගමැති ඇතුළු නිලධාරීන්ගෙන් වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් එම බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් පවරා ඇති නඩු 108 වගඋත්තරකාරීත්වයෙන් ජනපති රනිල් වික‍්‍රමසිංහ ඉවත් කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂා ද සිල්වා මහත්මිය අද තීරණය කලාය.
කතෝලික දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන පාස්කු ඉරුදින මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර එල්ල කරන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වැළැක්වීමට කටයුතු නොකිරීම හේතූවෙන් කොච්චිකඬේ ශාන්ත අන්තෝනි ඇතුළු දේවස්ථාවල පාස්කු දිව්‍ය පුජාවන්ට සහභාගි වු තම ඥාතීන් මියයෑමට හා බරපතල තුවාල ලැබීමට සිදුවු හෙයින් මෙම අපරාධයන්ට වගකිවයුතු වගඋත්තරකරුවන්ගෙන් රුපියල් කෝටි 200ක පමණ වන්දි අයකර දෙන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී දිසා විනිසුරුවරිය ඒ බව දැනුම් දුන්නාය.
මෙම නඩුවල වගඋත්තරකරුවකු වශයෙන් නම් කොට සිටින ජනපති රනිල් වික‍්‍රමසිංහ නඩුවේ වගඋත්තරකාරීත්වයෙන් ඔහු ජනාධිපතිධුරය දරණ තාක් ඉවත් කිරීමට නියම කරන්නයි ඔහු වෙනුවෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් දිසා විනිසුරුවරිය ඒ බව දැනුම් දුන්නාය.
කොච්චිකඬේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ගොදුරුවුවන් විසින් වන්දි නඩු 108ක් කොළඔ දිසා අධිකරණයට ගොනු කොට ඇති අතර කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයට ගොදුරුවුවන් විසින් වන්දි නඩු 182ක් මීගමුව දිසා අධිකරණයේ ගොනු කොට ඇත.
හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර, හිටපු රාජ්‍ය බුද්ධි ප‍්‍රධානී නි්යෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ නීතීපතිවරයා වගඋත්තරකරුවන් කරමින් බෝම්බ ප‍්‍රහාරයන්ට ලක්ව මියගිය හා තුවාල ලැබුවන්ගේ ඥාතීන් විසින් මෙම වන්දි නඩු ගොනු කොට ඇත.
- මනෝප‍්‍රිය ගුණසේකර