අඩු ආදායම්ලාභීන් සහ කලාකරුවන් සඳහා නිවාස 1,996ක් ඉදි කිරීමට චීනය සමග ගිවිසුම්ගත වීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන අතර ඊට අදාළ මූලික එකඟතාවලට දැනටමත් එළැඹ ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. මූලික එකඟතාව සඳහා අත්සන් තැබීම නාගරික සංවර්ධන අධිකාරියේදී පසුගිය දා සිදු කර ඇත.
නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් සහ චීන රජය වෙනුවෙන් සෙන්ට්‍රල් සවුත් ආකිටෙක්චරල් ඩිසයින් ඉන්සිටියුට් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයේ ලේකම් ෂෙන් ටාඕ ඊට අත්සන් තබා තිබේ. මෙරට අඩු ආදායම්ලාභී පවුල්වලට නිවාස ගැටලුවලට විසඳුමක් ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග උපදෙස් මත මෙම නිවාස වැඩසටහන ක්‍රියාත්මක වේ. අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස 1,996 ක් ඉදිකිරීම වෙනුවෙන් චීන රජය යුවාන් මිලියන 552 ක ආධාරයක් (රුපියල් බිලියන 29ක්) ලබා දීමට නියමිත අතර ස්ථාන 5 ක මෙම නිවාස ව්‍යාපෘති ඉදිකිරීමට නියමිතය. ඒ සඳහා තෝරා ගෙන ඇත්තේ, පෑලියගොඩ, දෙමටගොඩ, කොට්ටාව, මහරගම සහ මොරටුව යන නාගරික ප්‍රදේශ ය.
මෙම නිවාස ව්‍යාපෘති 5 න් කොට්ටාව නිවාස ව්‍යාපෘතිය මෙරට ජ්‍යෙෂ්ඨ කලාකරුවන් සඳහා වෙන් කර ඇති අතර එහි ඉදි කෙරෙන නිවාස සංඛ්‍යාව 108 කි. අනෙක් ව්‍යාපෘති 4 අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් වෙන් කර ඇති අතර එහි ඉදි කෙරෙන නිවාස සංඛ්‍යාව 1,888 කි.
මෙම වසර අවසන් වීමට පෙර මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද නාගරික සංවර්ධන අධිකාරිය පැවසීය