ශ්‍රී ලංකාවට ආවේණික නව භෞමික උඩවැඩියා ශාක විශේෂයක් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ, වලන්කන්ද ප්‍රදේශයෙන් සොයා ගැනීමට පර්යේෂකයන් කණ්ඩායමක් සමත්වී ඇත.
රත්නපුර, වලන්කන්ද ප්‍රදේශයේ අධ්‍යනයේ යෙදුනු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියකු වන භාතිය ගොපල්ලව සහ රජරට විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන අමිල පෙරේරා යන දෙපළ 2021 වසරේ සිදුකල අධ්‍යයනයකදී මෙම ශාක විශේෂය ප්‍රථම වරට හඳුනාගෙන තිබේ. ඉන්පසු ශාක පිළිබඳ පර්යේශණය කටයුතුවල යෙදෙන හර්ශ සම්පත් දෙවන වරට සිංහරාජ වනාන්තරයෙන් සහ ලසිත ප්‍රගීත් තෙවන වරට කලවාන ප්‍රදේශයෙන් මෙම ශාක විශේෂය වාර්තා කර ඇත.
මෙම පැළෑටිය සඳහා තවම සිංහල භාෂාවෙන් නාමයක් නොමැති අතර, මෙම උඩවැඩියා විශේෂයේ පැහැය පුෂ්පරාග මැණික් ප්‍රභේදයේ පැහැයට සමාන වීම, පුෂ්පරාග මැණික් සොයා ගන්නා පොලවෙන් හමුවීම ආදිය නිසාවෙන් පර්යේශකයන් මෙහි විශේෂ නාමය ලෙස ‘පුෂ්පරාග’ යන්න යෙදීමට කටයුතු කර ඇතැයි පරිසරවේදී පේෂල පසන් කරුණාරත්න පැවසීය.
මෙම ශාක විශේෂය පරපෝෂී ශාක විශේෂයක් වන අතර, මෙහි ශාක පත්‍ර දක්නට නොලැබේ. පොලව අභ්‍යන්තරයේ පවතින රෛසෝමයක් මගින් කහ පැහැ මලක් පමණක් හට ගන්නා අතර එය සෙන්ටිමීටර කිහිපයක විශාලත්වයකින් යුක්තය. මෙම නව සොයා ගැනීමත් සමග ලාංකාවේ දේශීය උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 194 ලෙස ඉහල යන අතර ආවේනික උඩවැඩියා විශේෂ සංඛ්‍යාව 63 ලෙස ඉහල යෑම සිදුවන බව ද පේෂල පසන් කරුණාරත්න පැවසීය.
මෙම පර්යේෂණ පත්‍රිකාව එලි දැක්වීම සඳහා භාතිය ගොපල්ලව (පේරාදෙණිය විශ්ව විද්‍යාලය) සහ අමිල පෙරේරා (රජරට විශ්ව විද්‍යාලය) සමගින් ඉන්ද්‍රකීල මාදොල (වයඹ විශ්ව විද්‍යාලය), මහාචාර්‍ය දීප්ති යකන්දාවල (පේරාදෙණිය විශ්ව විද්‍යාලය), හර්ෂ සම්පත් ජයවික්‍රම (ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය), ආචාර්ය පන්කර් කුමාර් (කර්ටින් විශ්ව විද්‍යාලය – ඕස්ටේ්‍රලියාව), මහාචාර්ය මාර්ක් චේස් (කිව් උද්භිද උද්‍යානය – එංගලන්තය) ඇතුළු විශාල කණ්ඩායමක සහය ලැබී ඇත.
- ඩයනා උදයංගනී