ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ හෙට (මාර්තු 15) දැවැන්ත වැඩ වර්ජනයක් සිදු කරන බව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ ය. මීට සමගාමීව ඊයේ (මාර්තු 13) සහ අද (මාර්තු 14) වරාය අධිකාරිය තුළ අකුරට වැඩ කිරීමේ ක්‍රියාන්විතයක් සිදුකරන බව ද වරාය වෘත්තීය සමිති සඳහන් කළේ ය.
මේ පිළිබඳ දැනුවත් කිරීම සඳහා අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් ද ඊයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේදී සිදු කෙරිණි. මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට වරාය වෘත්තීය සමිති සියල්ල ම එක්වීමට නියමිත ය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රටේ ආනයන අපනයන ක්‍රියාවලියට බාධා ඇති විය හැකි බව ද ඊට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බව ද වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළේ ය.
වරාය අධිකාරියේ ඊයේ සිදු කළ අකුරට වැඩ කිරීමේ ක්‍රියාවලිය නිසා රුපියල් කෝටි 150ක් පමණ වරායට සහ රේගුවට පාඩු වී ඇති බව ද මෙම පාඩුවට සම්පූර්ණ වගකිවයුත්තේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යැයි ද නැව් 3ක් පැමිණ එක් දිනකදී මෙහෙයුම් කටයුතු සිදු කරන අතර ඊයේ මෙහෙයුම් කටයුතු සිදුකර ඇත්තේ වරායට පැමිණි එක් නැවක පමණක් යැයි ද වරාය අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කළේ ය.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සියයට සියයක් සාර්ථක බවද වරාය වෘත්තීය සමිති පවසයි.