ඉන්ධන මිල අඩුකිරීම හරහා විදුලි බිල පහත දැමීම සම්බන්ධයෙන් යෝජනාවලියක් කඩිනමින් ලබාදෙන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට ලිපියකින් දැනුම්දී තිබෙනවා.
ඉන්ධන මිල පහත දැමීම, ලෝක වෙළඳපොලේ ගල් අඟුරු මිල පහත යෑම සහ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම යන කරුණු සළකා මෙම ඉල්ලීම සිදුකළ බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ. ඉන්ධන මිල පහත දැමීම තුලින් විදුලි ගාස්තුව සියයට විස්සකින් පමණ අඩු කළ හැකි බවද එහිදී ඔහු සඳහන් කළා. මේ අනුව 20%කින් විදුලි බිල අඩු කළහොත් මසකට රුපියල් 2000ක විදුලි බිලක් ලැබෙන පාරිභෝගිකයෙකුට නව ගාස්තුව ලෙස 1800ක් වන අතර,මේ හේතුවෙන් පාරිභෝගිකයාට රුපියල් 200ක වාසියක් හිමිවේ.
පාඩු ලබනවයි කියා විශාල ප්‍රමාණයකින් විදුලි බිල ඉහළ දමා එහි අතිරික්ත සේවකයින් සහ ඔවුන්ගේ අතිකාල දීමනා පියවන්නට පවා ජනතාව මත අධික විදුලි බිලක් පටවමින්, ඒකකයක ගාස්තුව සහ ස්ථාවර ගාස්තු ඉහළ දැමීම කාගේ වරදක්ද?
මේවන විට ලෝක වෙළඳ පොළෙහි බොරතෙල් මිලත් සීඝ්‍රයෙන් පහල යමින් පවතී. එවැනි තත්ත්වයක් තුල අහිංසක පාරිභෝගික ජනතාවගේ කර මත අසීමිත ලෙස විදුලි බල මණ්ඩලයේ පාඩුව පියවීමට පැටවීම සාධාරණ වන්නේද?
සිංහල අලුත් අවුරුද්දට පෙර සිටවත් විදුලි බල මණ්ඩලයෙන් අසීමිත ලෙස වැඩි කළ බිලට යම් සහනයක් ලැබේ යැයි පොරිභෝගිකයින් නොඉවසිල්ලෙන් බලාසිටී.