ශ්‍රී ලාංකික ළමුන් යුරෝපයට අලෙවි කළ සැකකාර මැලේසියානු අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට එරට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සමත් වූ බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් ප්‍රකාශ කර ඇත.
මෙම යුවළ යුරෝ 30000 ත් 50000 ත් (ශ්‍රී ලංකා රුපියල් 10543312 – 17572187) අතර මුදලක් එක් ළමයෙක් සඳහා අය කර ඇති බව රුස්ලින් පෙන්වා දී තිබේ. මෙම යුවළ, විදේශ ගමන් බලපත්‍රය සෑදීම සඳහා තම දරුවන්ගේ උප්පැන්න සහතිකය රැගෙන ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස අවුරුදු 12 වයස් සීමාවේ පසුවන දරුවන් සිටින මැලේසියානු දෙමාපියන් පොළඹවා ගෙන ඇති බව රුස්ලින් ප්‍රකාශ කර තිබේ.
එසේ දෙමාපියන් පැමිණි විට ඔවුන්ගේ දරුවන් වෙනුවට සම වයසේ සිටින ශ්‍රී ලාංකික දරුවන් ඡායාරූප සහ ඇඟිලි සළකුණු ගැනීමට ඉදිරිපත් කර ඇති බවත් අනතුරුව සාර්ථකව විදේශ ගමන් බලපත්‍ර ලබා ගන්නා ශ්‍රී ලාංකික දරුවන් යුරෝපා රටවලට ජාවාරම් කර ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් දටුක් රුස්ලින් පෙන්වා දී ඇත.
පසුගිය 12 වැනිදා මෙම යුවළ දරුවකු සමඟ ක්වාලා ලාම්පූර් ආගමන හා විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණ ඇති අතර එහිදී නිලධාරීන් යුවළගෙන් ප්‍රශ්න කර තිබේ. ප්‍රශ්න කිරීමේදී යුවළ සමඟ සිටි දරුවාට මැලේසියානු භාෂාව කතා කිරීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන් අත් අඩංගුවට ගැනීමට නිලධාරීන් කටයුතු කර තිබේ.
අත් අඩංගුවට ගත් සැකකාර අඹු සැමි යුවළ වයස අවුරුදු 26 සහ 37 පසුවන්නන් බව මැලේසියානු පොලිසිය ප්‍රකාශ කර තිබේ. අත් අඩංගුවට ගත් අඹු සැමි යුවළ මේ වන තෙක් යුරෝපයට ළමුන් කී දෙනෙක් ජාවාරම් කර ඇත්දැයි සහ මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයන් සිටී දැයි සෙවීම සඳහා වැඩි දුර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මැලේසියානු පොලිසිය පෙන්වා දී ඇත.
- විමුක්ති එස් රුද්‍රිගු