ගිනිගත් නැවේ කප්පම්කරුගේ නම එළියට . . .

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාළව නඩු පැවරීම ප්‍රමාද කිරීම සඳහා ඇමරිකානු ඩොලර් කෝටි 25 ක අල්ලස් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චාමර ගුණසේකර නොමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරක් ලැබී ඇතැයි අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

තමාට ලැබුණු ඒ තොරතුරෙහි චාමර ගුණසේකර නට්වෙස්ට් කෝට් 50000 ගිණුම් අංක 154793334 iban number GB 53nwbk 50000015479234Bicnwbkb 2L ඇමරිකානු ඩොලර් මිලියන 250 යනුවෙන් සඳහන් වන බවද ඔහු කීවේය. තමාට ලැබී ඇත්තේ සාක්ෂියක් නොව තොරතුරක් බවද අමාත්‍යවරයා පැවසුවේය. මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් පවත්වන බවත් එම නිලධාරීන් මේ පිළිබඳව ඉදිරියේදී තොරතුරු හෙළි කරනු ඇති බවත් අමාත්‍යවරයා කීවේය.

විජයදාස රාජපක්ෂ මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ස්ථාවර නියෝග 27 (2) යටතේ මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඒ නෞකාවෙන් වන්දි ගැනීමේ ක්‍රියාවලියට විවිධ බාධා ඇතිවුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ නෞකාව ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් පිටතට ගෙන නොයන්නයි නීතිපතිවරයා උපදෙස්දී තිබියදී එය මුදා හැර තිබූ බව පවසන රාජපක්ෂ  නැව මුදා මුදා හැරීමට නියෝගය ලබාදී ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ජයන්ත කොළඹගේ බවද සඳහන් කළේය. මෙම කාරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත්ව සිදුවූ දෙයක් නොවන බවත් මෙම ඉල්ලීම කළ පුද්ගලයා ලෙස බොහෝ පාර්ශ්ව සඳහන් කළේ නාලක ගොඩහේවා ගේ නම බවත් විජයදාස රාජපක්ෂ කීවේය.

මැරිච්ච කැස්බෑවුන් ගොඩ ගහන්නේ මේ නැවෙන් වුණු හානිය නිසා නොව මෝසම් කාලයට කොහොමත් කැස්බෑවුන් ගොඩ ගහන්නේ යයි නාලක ගොඩහේවා රූපවාහිනියට කළ ප්‍රකාශයක් තමා කලකට පෙර දුටු බව පැවසූ අමාත්‍යවරයා මේ නිසා මේ ගැන ලොකු ගැටලුවක් තිබෙන බවද සඳහන් කළේය. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර මේ ගැන සොයා බැලිය යුතු බවත් මෙහි වගකීම කවුරුන් හෝ බාර ගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මෙසේද සඳහන් කළේය,

“එදා නැවට යන්න දුන්නු නිසා අධිකරණවල නඩු දෙක තුන දාගෙන විත්ති කාරයෝ හොයාගන්න බැරිව සිතාසි ටික බෙදාගන්න බැරුව අපි දුක් විඳිනවා. අපේ අලාභය ලැබෙන්නෙත් නෑ. හානියට වන්දියක් ලැබෙන්නෙත් නෑ.”

ගාලු දිස්ත්‍රික් මන්ත්‍රීනීතිඥ චන්දිම වීරක්කොඩි,

මේ වන්දිය මීට අවුරුදු දෙකකට කලින් ලබාගන්න තිබුණා. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. ඒ කාරණය හොයන්න ඕන. චාමර ගුණසේකර කියන නම මටත් ආවා.ඔහු කවුද ඔහු කවුරු වෙනුවෙන් ඒ මුදල ලබා ගත්ත ද කියන එක හොයන්න ඕන. මුදල් ගනුදෙනුවක් නිසා වන්දිය ප්‍රමාදයක් වුණාද කියන එක සොයන්න ඕන . ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයන්න තේරීම් කාරක සභාවක් පත්කරන්න ඕන.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු,

මේ නැවෙන් සමස්ත ජන ජීවිතයටම විශාල හානියක් සිදු වුණා. බටහිර වෙරළට අද වුණත් ගිහිල්ලා බලන්න. මේ හානිය දිනෙන් දිනම සිදු වෙනවා. ප්ලාස්ටික් කෑලි අදටත් ගොඩක් ගහනවා. අපේ මත්ස්‍ය සම්පතට විශාල බලපෑමක් වුණා. නඩුව සිංගප්පූරුවේ පවත්වන්න අපි එකඟත්වයදී තිබෙනවා. නිව් ඩයමන්ඩ් නැව ගැන එක එක නම් සඳහන් වෙනවා. මේ ගැන තේරීම් කාරක සභාවක් පත්කරන්න ඕන. මේ විනාශයට ගෙවන සුළු ගාණත් නවත්වලා. ප්ලාස්ටික් කෑලි ටික එකතු කරගන්නවත් මුදල් ටික දෙන්නෙ නෑ.

මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා,

එක්ස්ප්‍රස් පර්ල් නැව ගැන මම යමක් කියන්න ඕන. වන්දිය ප්‍රමාද වුණා නම් ඒකෙ වගකීම ගන්න ඕන හිටපු අධිකරණ ඇමතිවරුන් දෙන්නා.

ආචාර්ය විජයදාස රාජපක්ෂ,

නැව නිදහස් කරගන්න එපා කියලා නීතිපතිතුමා කියලා තියෙද්දී තමයි නැව නිදහස් කරගෙන ගිහිල්ලා තියෙන්නෙ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නැව නිකුත් කරන්න ඉල්ලලා නෑ.

නාලක ගොඩහේවා මහතා,

මම කිසිම අවස්ථාවක නැව නිදහස් කරන්න ඉල්ලලා නැහැ. ඒකට යන්න දුන්න එක වැරදියි කියන මතයෙ තමයි මමත් ඉන්නේ.

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු,

මේකෙ චෝදනාව සම්පූර්ණයෙන්ම තියෙන ඔබතුමාට.

විපක්ෂ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල,

මේ සිද්ධිය ඇතිවුණේ ශ්‍රී ලංකා අධිකරණ බල සීමාව තුළ. එතකොට අපේ අධිකරණය ගැන විශ්වාසයක් නැද්ද. රජයට අපේ අධිකරණය ගැන විශ්වාසයක් නැහැ. මේ නඩුව සිංගප්පූරුවේ දාන්නෙ ඇයි. ඒ ගැන අපි ලැජ්ජා විය යුතුයි.

විජයදාස රාජපක්ෂ,

කිරිඇල්ල කරපු ප්‍රකාශය වරදක්. නීතිපති උපදෙස් අනුව තමයි අපි කටයුතු කළේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් ලන්සා,

මෙතන ඉන්න බක පණ්ඩිතයෝ දෙන උපදෙස් අනුව කටයුතු කරන්න බැහැ.අපි කටයුතු කළේ නීතිපති උපදෙස් අනුව.

කිරිඇල්ල,

මේ නැවට අදාල සීසීටීවී දර්ශන විනාශ කරලා. මෙතන මහා කුමන්ත්‍රණයක් සිදුවෙලා තියෙනවා.

  • සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උතුරු නැගෙනහිර හර්තාල් . . .

Tue Apr 25 , 2023
යෝජිත ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල කැඳවා ඇති හර්තාල් ව්‍යාපාරය මේ වන විට ක්‍රියාත්මක වේ. දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විසින් මෙම හර්තාල් ව්‍යාපාරය කැඳවනු ලැබීය. ඒ අනුව අද (25) උදෑසන උතුරු නැගෙනහිර ප්‍රදේශවල ව්‍යාපාර ස්ථාන වසා දමා ඇති අතර ප්‍රවාහන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x