සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සහ පොලිස් විමර්ශන කටයුත්තකට අනීතික බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති තොරතුරු පිළිබඳ කරුණු දැක්වීමට ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ලබන මැයි 15 වැනිදා පෙනී සිටින ලෙසට පොලිස්පතිවරයාට සහ කොළඹ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ.
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ගාල්ල මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ විසින් පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නට සහ කොළඹ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එස්. වික්‍රමසිංහට එලෙස නියෝග කර තිබේ.
සංචාරකයන්ගේ මුදල් ඇතුළු වටිනා දේපොළ අස්ථානගතවීම සම්බන්ධයෙන් උණවටුන යද්දෙහිමුල්ලේ පිහිටි ‘‘හාපි බනානා’ නමැති හෝටලයේ හිමිකරු පලිහවඩනගේ ජනත් අබේගුණවර්ධන සහ රමිදු නිලුක අබේගුණවර්ධන නමැති සැකකරුවන් 2023 ජනවාරි 18 වන දින අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කිරීමටද කටයුතු කිරීම තුළින් නීතියට පටහැනිව ක්‍රියා කර ඇතැයි ද මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයේ සඳහන් වේ.
තමන්ගේ නීත්‍යනුකූල නියෝග පිළිපැදිය යුතු පහළ නිලධාරියකු වන උණවටුන පොලිස් සංචාරක කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න යන අයට අදාළ අපරාධ විමර්ශනය සම්බන්ධයෙන් ඍජු හෝ නියමිත ධුරාවලිය ප්‍රකාරව නියෝගයක් නිකුත් නොකර අජිත් ගාල්ලගේ නමින් හඳුන්වා ඇති බාහිර පුද්ගලයකු ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මගින් යොමු කරවීම මගින් අනීතික බලපෑමක් කර ඇති බවට ඉදිරිපත් වී ඇති තොරතුරු සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පොලිස්පතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.
පොලිසියේ අභ්‍යන්තර විමර්ශනයකට අදාළව සාක්ෂිකරුවන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා දැනටමත් පොලිසිය මගින් මෙම අධිකරණය හමුවේ පවරා ඇති අදාළ නඩුවේ පළමුවන සැකකරුට අයත් ‘‘හාපි බනානා’ නමැති හෝටලය නීතියට සහ අපරාධ විමර්ශනයට බලපෑම් වන ආකාරයට ක්‍රියා කළ බවට හා එහිදී මෙම අපරාධයට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවන්, එම සැකකරු ඉදිරිපිට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අපහසුතාවට හා බියට පත් කළ බවට ඉදිරිපත් වී ඇති තොරතුරු සම්බන්ධයෙන් කරුණු දැක්වීමට කොළඹ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී. එස්. වික්‍රමසිංහ හා උප පොලිස් පරීක්ෂක තුසිත කුමාර යන අයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ. මෙම අපරාධ විමර්ශනයට ඍජු බලපෑම් ඇති වන බව දැනටමත් බැලූ බැල්මට නිරීක්ෂණය වන බවද මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරන ලද උණවටුන පොලිස් සංචාරක කාර්යාංශයේ ස්ථානාධිපතිට ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න සහ ඔහුගේ නියෝග යටතේ ක්‍රියාත්මක වූ නිලධාරින්ට එරෙහිව පොලිස් දෙපාර්තමේන්තුව විසින් යම් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇත්නම් එය අත්හිටුවීමට ද මහෙස්ත්‍රාත්වරයා පොලිස්පතිවරයාට නියෝග කළේ ය.