අලුත් රජෙක් ඔටුනු පළඳියි . . .

වසර 70කට පසු එංගලන්තයේ අලුත් රජෙක් ඔටුනු පළඳියි. ඒ එරට රාජකීය ධූරාවලියේ හැටදෙවැනි රජු ලෙස ඉතිහාසයට එක්වන 74 හැවිරිදි තුන්වැනි චාල්ස් රජුය. තුන්වැනි චාල්ස් සහ කැමිලා රාජමහේසිකාවගේ ඔටුනු පැළඳීමේ මංගල්ලය වසර 1200කට වඩා ඉපැරැණි ඓතිහාසික ඓශ්චර්යයක් නැවත ලන්ඩනය කරා සම්ප්‍රාප්ත කර තිබුණි.

ඒ අනුව 2023 වසරේ මැයි 6 වැනිදා ඉතිහාසයට එක්වනු ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ නව රජු ලෙස 3 වැනි චාල්ස් රජු ඔටුනු පැළැඳි දිනය හැටියටය. ඔහුගේ මව ලොව වැඩිම කලක් රාජකීයත්වය දැරූ දෙවැනි එළිසබෙත් රාජිණිය දිවියෙන් සමුගැනීමත් සමඟ චාල්ස් කුමරු රජු බවට නිවේදනය වූයේ 2022 සැප්තැම්බර් 8දා වුවද ඔහු සාම්ප්‍රදායික ලෙස ඔටුනු පැළඳීම සිදුවන්නේ මාස 09කට පසුවය. වසර 1066 තරම් ඈත කාලයේ විජයග්‍රාහී විලියම් රජුගේ ඔටුනු පැළඳීමේ දේවමෙහෙය සිදුකළ වෙස්ට් මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ මහා යාඥා මංගල්ලයෙන් පසුව කැන්ටබරියේ අගරදගුරුතුමන් විසින් චාල්ස් කුමරුහට සාම්ප්‍රදායික ලෙස ඔටුනු පළඳන්නට යෙදෙයි. ඒ එම ස්ථානයේ ඔටුනු පැළඳීමක් සිදුවන 40 වැනි වතාවටය.

මෙම ඓතිහාසික මොහොත ලෝකය පුරා ඩිජිටල් විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය වන අතර 1953 දී ප්‍රථම වරට එළිසබෙත් කුමරිය සිය මෞලි මංගල්ලය බී.බී.සී. රූපවාහිනියෙන් ප්‍රචාරයට ලක් කිරීමට ඉඩදීමත් සමඟ එවන් අසිරියක් ලෝකයා දැකගන්නා ප්‍රථම අවස්ථාව බවට එය පත්වෙයි. ලෝකය පුරා ජන නායකයන් මෙන්ම ආරාධිතයන් දහස් ගණනක් මෙදා ලන්ඩනයට රුස්වනු ඇතැයි අපේක්ෂිතය.

වෙස්ට්මිනිස්ටර් ඇබේ වෙත චාල්ස් සහ කැමිලා රාජකීයයන් රැගෙන යන්නේ ඉතිහාසගත රාජකීය රන්මුවා කරත්තයකිනි. එය මෙයට පෙර 2022දී සිය ප්ලැටිනම් ජුබිලිය දා දෙවැනි එළිසබෙත් මහා රාජණිය අවසන්වරට භාවිත කළ රාජකීය කරත්තයයි. මෙය මුල්වරට 1762දී නව රජුගේ මුත්තණුවන් වන තුන්වැනි ජෝර්ජ් රජු පාර්ලිමේන්තුව විවෘත කිරීමට ගිය කරත්තය වීම සුවිශේෂී කරුණකි. 1831දී පස්වැනි විලියම් රජුගේ ඔටුනු පැළැඳීමේ උළෙල දා සිට මේ ඓතිහාසික කරත්තය ඒ සඳහා භාවිතයට ගනී.

සාමාන්‍යයෙන් රාජකීය බකිංහැම් මැඳුරේ සිට රාජකීය යුවළ ඓතිහාසික ඇබේ දේවස්ථානය වෙත ගෙන යන රජ පෙරහර, සැතපුම් ගණනාවක් ලන්ඩනයේ වීදි ඔස්සේ ඇදී යයි. 1953 දී දෙවැනි එළිසබෙත් රුජනගේ මෞලි මංගල්ලය දා මේ පෙරහර සැතපුම් 5ක් දිගු වූ අතර බකිංහැම් සිට ඇබේ දක්වා යාමට එයට පැය 2කටත් වඩා ගතව තිබුණි. නමුත් මෙවර රාජකීය පෙරහර සැතැපුම් 1.3ක් පමණ දිගු වන අතර, පැය භාගයකට ආසන්න කාලයක් ගමන සඳහා වැයවනු ඇත. ටොන් හතරක් බර මේ කරත්තය ඒ නිසාම ගමන් ගන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් පයින් ඇවිද යන තරම් වූ වේගයකිනි.

ඇබේ දේවස්ථානයේදී අගරදගුරුතුමන් විසින් රජුගේ රාජකීයත්වය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ සුප්‍රකට ‘God Save the king’ ආසිරි ගීය වාදනය වන අතර නව රජු දිවුරුම් දී දැවමය සිංහාසනයක අසුන් ගනියි. මේ සිංහාසනය පළමුවැනි එඩ්වඩ් රජු විසින් මුල්වරට මෙයට වසර 1300කට පෙර භාවිතයට ගත් අතර එතැන් සිට ශුද්ධ වූ තෛලය ආලේපනය කර රජුන් සහ රැජිණියන් ආසිරි ගන්වමින් රාජකීය තත්ත්වයට පත් කිරීමේ මංගල අවස්ථාව සඳහා අඛණ්ඩව යොදාගත්තා වූ පෞරාණික වස්තුවකි. මින්පසු රජු වෙත ශාන්ත එඩ්වර්ඩ්ගේ ඔටුන්න පළඳවා රාජකීයත්වය සංකේතවත් කරන සෙංකෝලය පිරිනමනු ලැබේ. සියල්ලෝ රාජකීයයන් දෙපළ ඉදිරියේ දණගසා ගෞරව දක්වන්නේ මින් පසුවය.

ඔටුනු පැළඳීමෙන් අනතුරුව නැවතත් නව රාජකීය යුවළ බකිංහැම් මාලිගය වෙත ළඟාවන්නේ මෞලි මංගල්ල පෙරහර ලෙස හැඳින්වෙන මහා පෙරහරකින් ලන්ඩන් වීදි සැරිසරමිනි. ඉන්පසු රාජකීය පවුලේ සියලුදෙනා සමඟ ඉදිරිපස සඳළුතලයේ පෙනී සිටින්නේ මහජන ගෞරවය පිණිසය. කෙසේ වුවද චාල්ස් රජු මෙවර මූලික සම්ප්‍රදායන් රකිමින් වඩාත් චාම් ලෙස සහ අඩු වියදමකින් සිදුකෙරෙන මෞලි මංගල්ලයකට පෙරමුණගෙන සිටී. මෙවර චාල්ස් රජු පළඳින ඔටුන්න මැණික්ගල් 244ක් ඇල්ලූ ගන රන් ඔටුන්නකි. එය 1661දී දෙවැනි චාල්ස් රජු මුල්වරට පැළැඳි අතර මේ ඔටුන්න තනා ඇත්තේ සියවස් ගණනාවක් පැරුණි ශාන්ත එඩ්වර්ඩ්ගේ ඔටුන්න උණුකර තැනූ පිරිසුදු රන්වලිනි.

කැමෙලා මහේෂිකාව සිය හිස පැළඳීමට තෝරාගන ඇත්තේ දියමන්ති පමණක් 2200ක් අල්ලා සරසා ඇති රිදී වැඩ දැමූ රන් ඔටුන්නකි. එය මහරුජනගේ මිත්තනියක වන මේරි රුජන විසින් භාවිත කළ ඔටුන්නයි. කැමෙලා මෙතෙක් භාවිත වූ කුප්‍රකට ශෝකාන්තයක් සහිත කොහිනූර් දියමන්තිය ඇතුළත් වික්ටෝරියා රුජණ පැළඳි ඔටුන්න ප්‍රතික්ෂේප කර තිබේ.

මෙවර ඔටුනු පැළඳීම උදෙසා සහභාගි වීමට ගෙන්වා ගන්නේ ආරාධිතයන් 2000ක් පමණි. මේ උළෙලට ආරාධනා ලද ආරාධිත අමුත්තන් අතර යුරෝපීය රාජකීයයන් හට මුල්තැන හිමිව තිබේ. ස්පාඤ්ඤ, ඩෙන්මාර්ක්, මොනාකෝ, නෙදර්ලන්ත සහ වෙනත් රාජකීයයන් මෙහිදී කැපී පෙනෙයි. රජ පවුලේ පෙරළිකාරයන් වන හැරී සහ මේගන් යුවළටද අනෙකුත් රාජකීය පවුල් සඳහාද විශේෂ ස්ථානයක් හිමිව නැත. ඒ වෙනුවට කැමෙලාගේ පවුලේ උදවිය මේ රාජකීය අවස්ථාවට ඇරයුම් ලැබ සිටී. චාල්ස් සහ කැමෙලා නව රාජකීය යුවළ සිය මෞලි මංගල්ලය නව රාජකීය යුවළ සහ රටේ ජනතාව අතර හමුවක් ලෙස සලකා ක්‍රියාකරනු ඇත.

තුන්වැනි චාල්ස් රජුගේ මෞලි මංගල්ලය සමරා තැපැල් සමරුවක් සහ මුද්දර 4ක් නිකුත් කරන්නට යෙදී ඇත. රටපුරා විවිධ සමරු පලක, ධජ, සැමරුම් චිත්‍ර මෙන්ම යුවළගේ උඩුකය රූ ඇතුළත් ටී ෂර්ට් ඇතුළු ඇඳුම් පැළඳුම් මෙන්ම විශේෂ සමරු නිර්මාණ අලෙවියට නිකුත් කර තිබේ. කෙසේ වුවද නව රාජකීය යුවළ දෙවැනි එළිසබෙත් රුජණ මෙන්ම පොදුජන යහපත පිණිස වැඩි අවධානයක් යොමුකර ඇති අතර, ජනතාවගෙන්ද මේ සමරුව සඳහා කරන වියදම් නැතිබැරි අය වෙනුවෙන් කරන සමාජ සත්කාර සඳහා යොදවන ලෙස ඉල්ලා තිබේ.

  • සුගත් පී. කුලතුංගආරච්චි
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෛත්‍රීපාල ලෝක සාම සම්මේලනය අමතයි . . .

Thu May 4 , 2023
දකුණු කොරියාවේ සියෝල් නගරයේ දී ලෝක සාම සම්මේලනය අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදුකරන ලද විශේෂ දේශනය මෙහි දැක්වෙයි. ගෞරවනීය මූන් මැතිණියනි, ජාත්‍යන්තර විශ්ව සාම සම්මේලනයේ ගෞරවනීය සභාපති, ආචාර්ය තෝමස් ජී වොල්ෂ් මැතිතුමණි, ගෞරවණීය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය යුන් යොන් හෝ මැතිතුමණි, රාජ්‍ය නායකයිනි, රාජ්‍ය තාන්ත්‍රිකයිනි, සම්භාවනීය ආරාධිතයිනි, නෝනාවරුණි, මහත්වරුණි, […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x