ලංකාව සරසන දිය ඇලි කොමලියන් . . .

නිරිතදිග මෝසම් වැසි සමඟ ශ්‍රී ලංකාවේ දිය ඇලි විශාල සංඛ්‍යාවක් සංක්‍රියවීම පිළිබඳව තොරතුරු රැසක් බීබීසී සිංහල වෙබ් අඩවිය පළකර තිබේ.

එය සම්පූර්ණයෙන්ම උපුටාගෙන පහතින් දැක්වේ.

නුදුරේදීම සක්‍රීය වීමට නියමිත නිරිතදිග මෝසම් සමය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයට වැඩිම වර්ෂාව ලැබෙන කාලයයි. ඒ නිසාම මෙය ශ්‍රී ලංකාවේ සියලුම දිය ඇලි ඉතා මනරම්ව දැකිය හැකි හොඳම කාල සීමාව බව පරිසරවේදීහූ පෙන්වා දෙති.

“ලංකාවේ තියෙන දිය ඇලි සියල්ලම වගේ හොඳටම බලා ගන්න පුලුවන් කාල වකවානුව තමා මේක. සියල්ලම, මොකද හේතුව නිරිතදිග මෝසම සක්‍රීයවන කාලයට තමා සියලුම කඳුකර, උපකඳුකර සහ අතරමැදි කලාප සියල්ලටම ජලය හම්බවෙන්නේ. මේ කාලවකවානුව තුළදී තමයි ලංකාවේ දියඇලි සියල්ල සක්‍රීය වෙන්නේ. හොඳටම සක්‍රීය වෙලා බලා ගන්න පුළුවන් මේ කාලවකවනුව තුලදී.” පරිසරවේදී සජීව චාමිකර බීබීසී සිංහල වෙත පැවසීය.

ශ්‍රී ලංකාවේ පරිසරය ගැන කියවෙන ජනප්‍රිය ගීත රැසකටම මේ දියඇලි තේමා වී ඇත.මෙම කාලය තුළ

  • බෝඹුරු ඇල්ල
  • බෝපත්ඇල්ල
  • බේකර්ස් ඇල්ල
  • ඩෙවොන් ඇල්ල
  • ශාන්ත ක්ලෙයාර් ඇල්ල
  • ඩන්සිනන් ඇල්ල
  • ගාරට්මෝර් ඇල්ල
  • ඇබරඩීන් ඇල්ල
  • රම්බොඩ දිය ඇල්ල
  • ගැරඬි ඇල්ල
  • ලක්ෂපාන ඇල්ල
  • දූවිලිඇල්ල
  • බ්‍රාහ්මණ ඇල්ල

ඇතුළු දැකුම්කළු දිය ඇලි මහ ජල කඳක් රැගෙන කඩා හැලෙන්නේ ශ්‍රී ලංකාවේ ස්වභාවික සෞන්ද්‍රර්යට අමුතුම විභූතියක් එක්කරමිනි.

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි කන්නෙලිය රක්ෂිතය තුළ පිහිටි අනගිමල ඇල්ල, නාරංගස් ඇල්ල මෙන්ම නෙළුව දූවිලිඇල්ල, දෙදියගල පිහිටි හත්මාල ඇල්ල සහ ඌරා වැටුණු ඇල්ලද මෙම කාලසීමාව තුළ මනරම්ව දැකිය හැකි බව ද පරිසරවේදීහූ පෙන්වා දෙති.

නිරිත දිග මෝසම් සමය

මැයි මස අගභාගයේදී සක්‍රීයවන නිරිත දිග මෝසම සැප්තැම්බර් මාසය දක්වා පවතී.

නිරිත දිග මෝසම් කාලයේ සුළං සහිත කාලගුණය පළමු අන්තර්මෝසම් කාලය පුරා පැතිර පැවති උණුසුම ඉවත් කරයි.

මෙරට ට ලැබෙන වාර්ෂික වර්ෂාපතනයෙන් 30%ක් පමණ ආවරණය කරන මෙම වැසි ප්‍රධාන වශයෙන්ම පතනය වන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලටය.

නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමග මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තද වැසි පතනය වන අතර එම වර්ෂාවෙන් බොහෝ දියඇලි ක්ෂණිකව පෝෂණය ලබමින් දැකුම්කළුව ගලා බසියි.

දිවා රාත්‍රී දෙකෙහිම නිරිතදිග මෝසම් වැසි බලාපොරොත්තු විය හැකි අතර දිවයිනේ ප්‍රධාන වශයෙන් නිරිතදිග ප්‍රදේශයට කඩින් කඩ වැසි බලාපොරොත්තු විය හැකි කාලසීමාවක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙම කාලයේ ලැබෙන වර්ෂාපතනය මිලිමීටර් 100 සිට මිලිමීටර් 3000 අතර විචලනය වේ.

බටහිර බෑවුම්වල මධ්‍ය උස්බිම් වලට වැඩිම වර්ෂාපතනය ලැබේ. (ගිනිගත්හේන මිලිමීටර් 3267, වටවල මිලිමීටර් 3252, නෝර්ටන් මිලිමීටර් 3121) මෙම ප්‍රදේශවල සිට වඩා ඉහළ උස්බිම් දක්වා වේගයෙන් වර්ෂාපතනය පහත වැටෙන අතර නුවරඑළියේ දී එය මිලිමීටර් 853 දක්වා පහළ බසියි.

නිරිතදිග වෙරළබඩ තීරය දෙසට මෙම විචලනය වඩා අඩු වේගයකින් යුක්ත වන අතර මෙම මාස 5ක කාලය ඇතුළත නිරිතදිග වෙරළබඩ තීරයට මිලිමීටර් 1000 සිට මිලිමීටර් 1600 ක වර්ෂාපතනයක් ලැබේ.

අඩුම වර්ෂාපතන අගයක් උතුරු සහ ගිණිකොණ දිග ‍ප්‍රදේශවලින් වාර්තා වේ.

බෝපත් ඇල්ල රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ පිහිටා ඇති මනස්කාන්ත දිය ඇල්ලකි.
ඡායාරූප ශීර්ෂ වැකිය – බෝපත් ඇල්ල රත්නපුර, කුරුවිට ප්‍රදේශයේ පිහිටා ඇති මනස්කාන්ත දිය ඇල්ලකි.

මෙම කාලසීමාව තුළ මාඔය, අත්තනගළු ඔය, කැළණිගඟ, කළු ගඟ, ගිංගඟ, නිල්වලා ගඟ යන ගංඟා පද්ධතිවලට වැඩිම වර්ෂාපතනයක් ලැබෙයි.

සජීව චාමිකර පැවසුවේ, “ලංකාවේ වැසි වනානන්තරවලට හොඳම වර්ෂාපතනයක් ලැබෙන්නේ නිරිත දිග මෝසමත් එක්ක තමයි. ශ්‍රී පාද අඩිවිය, සිංහරාජඅඩවිය, කන්නෙලිය වනාන්තර පද්ධතිය ඇතුළු මේ සමස්ත තෙත් කලාපයටම වර්ෂාපතනය ලැබෙන්නේ මේ කාලවකවානුව තුළයි. ඒ වර්ෂාපතනය ලැබුණට පස්සේ මේ වනාන්තර පද්ධතිවලින් ගබඩා කර තියාගෙන අර කියන ගංඟාවලට ක්‍රමාණුකූලව මුදා හරින්නේ නිරිත දිග මෝසමත් එක්ක.”

ඔහු පෙන්වා දුන්නේ “මහවැලි ගඟ ගලාගෙන යන්නේ වියලි කලාපයට. නමුත් මහවැලි ගඟේ ආරම්භය තියෙන්නේ හෝටන් තැන්නෙන්. කිරිගල්පොත්ත කන්දෙන් ආරම්භ වෙලා. ශ්‍රීපාද අඩවියෙන් තව පෝෂණය වෙනවා මහවැලි ගඟ. නකල්ස් කඳුකරයෙනුත් පෝෂණය වෙනවා. ඒවායෙන් පෝෂණය වෙලා තමා මහවැලි ගඟ අවුරුද්ද පුරාම වියලි කලාපයට ජලය සපයන්නේ. ඒ නිසා නිරිත දිග මෝසමෙන් තෙත් කලාපයට විතරක් නෙමේ ජලය සපයන්නේ.”

‘දියඇල්ලක් කියන්නේ නිකම්ම නිකං ජලය කඩා හැලෙන තැනක් නෙමේ’

ඔහු පෙන්වා දුන්නේ “බලන්න යෑමට යොමු කිරීම හරහා වෙන්නේ මේවා වේගයෙන් විනාශයට ලක්වීම.මේවා එක්ස්පොස් කරන්න කරන්න වැඩිපුරම වෙලා තියෙන්නෙ විනාශ වෙන එක. ආරක්ෂා වෙන එක නෙමේ. වැඩිපුරම අපි අවධානයට ලක්කරන්න ඕනේ මේටික ආරක්ෂා කර ගන්න ක්‍රමවේදයකට යන එක.”

ඔහු පෙන්වා දුන්නේ “විදේශීය සංචාරකයින් කොයිම වෙලාවකටවත් මේවා වැරදි විදිහට භාවිත කරන්නේ නැහැ. ලංකාවේ අය කැලිකසල දානවා. අලුත් පාරවල් හදනවා උඩට යන්න.ජීවිත අවදානම් ඇති කර ගන්නවා.”

“දියඇල්ලක් කියන්නේ නිකම්ම නිකං ජලය කඩා හැලෙන තැනක් විතරක් නෙමේ. එවයින් හැදෙනවා ස්ප්‍රේ සෝන් කියලා එකක්. ස්ප්‍රේ සෝන් එකේ තමා මයික්‍රෝ හැබිටැට් ගොඩක් හැදෙන්නේ, ක්ෂුද්‍රවාසස්ථාන ගොඩක් හැදෙන්නේ. එවා තමා බොහෝ දුර්ලබ ජීවී විශේෂවලට වාසස්ථාන දෙන්නේ. අන්න ඒ පද්ධති ටික තමා අපේ ඇතැම් අය විනාශ කරන්නේ.” සජීව චාමිකර පෙන්වා දුන්නේය.

Lakshapana
ඡායාරූප ශීර්ෂ වැකිය – ශ්‍රී පාද අඩිවිය, සිංහරාජඅඩවිය, කන්නෙලිය වනාන්තර පද්ධතිය ඇතුළු සමස්ත තෙත් කලාපයටම වර්ෂාපතනය ලැබෙන්නේ මේ කාලවකවානුව තුළයි.

ප්‍රවේශමෙන් නරඹන්න

නිරිතදිග මෝසමේ ආරම්භක දින කිහිපයේ බොහෝවිට මධ්‍යම කඳුකරයට ධාරාණිපාත වැසි ඇඳ හැලෙන බැවින් ගංවතුර, නායෑයම්, කන්ඩි කඩා වැටීම් වැනි ආපදා සිදුවිය හැකි බැවින් මෙම කාලසීමාව තුළ දිය ඇලි නැරඹීම දැකුම්කළු වුවුත් එය වඩාත් ප්‍රවේශමෙන් කළයුතු කාර්යයක් බව නිතැතින්ම සිහිතබා ගත යුතුය.

ඒ , සාමාන්‍යයෙන් සෞම්‍ය ලෙස පහළට ජලය කඩා හැලෙන මෙවැනි දියඇල්ලක් ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන වර්ෂාපතනයක් සමග මහා ජලකඳක් සමග ප්‍රචණ්ඩ ස්වරූපයෙන් පහළට කඩා හැලීමට වැඩිවේලාවක් ගත නොවීම හේතුවෙනි.

එබැවින් මෙම කාලසීමාව තුළ අදාළ දිය ඇලි නැරඹීමට යන්නේ නම්, ඉදිරි පැය 6 , 12 හෝ 24 ක කාලගුණ අනාවැකිය පිළිබඳ සැලකැලිමත් විය යුතු අතර ඇතැම් විට එම ප්‍රදේශ සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑම් හා කන්ඩි කඩා වැටීම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේද යන්න පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

“සමහර දියඇලි වල තත්ත්වය තමා ඉහළට වැස්ස හැටියම සමහර විට බලාගෙන ඉන්න කොටම විනාඩි ගාණක් ඇතුලත ජල මට්ටම ඉහළ යනවා. ලොකු ජලකඳක් එනවා. සමහර වෙලාවට ඒක පාමුල ඉන්න කෙනෙක් එකපාරටම මේවා ගැන අවබෝධයක් නැති හින්දා ජීවිත නැති කරගන්න අවස්ථා බොහෝ වෙලාවට තියෙනවා.”

“විනාඩි ගාණක් ඇතුලත දියඇල්ලේ වතුර ප්‍රමාණයවැඩි වෙනවා. සමහර වෙලාවට ලොකු කොටන් ගහගෙන එනවා .ඒ දේවල් වගේ අවදානම් ගොඩක් තියෙනවා. ඒවගේ දෙවල් ගැන ගොඩක් අවධානයකින් ඉන්න ඕනේ මේවගේ සංචාරය කරද්දි.”හෙතෙම පෙන්වා දුන්නේය.

වැඩිම දිය ඇලි තියෙන්නේ කොහෙද ?

රත්නපුර හා නුවරඑළිය දිස්ත්‍රික්ක ආශ්‍රිතව වැඩිම දියඇලි පිහිටා ඇති බව සජීව චාමිකර පැවසීය.

රත්නපුර දිස්ත්‍රික්යේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමා දිය ඇලි වැඩිපුර තියෙන්නේ. අනෙක් ඒවා පොඩි පොඩි ඒවා.”සජීව චාමිකර පෙන්වා දුන්නේය.

“බඹරකන්ද, දියලුම, නිරිත දිගට වඩා ඊසාන දිග මොසමට තමා වඩාත් හොඳින් බලන්න පුළුවන්. ඒවටත් නිරිත දිග මෝසමෙන් යම් කිසි මට්ටමකට වර්ෂාපනතයක් ලැබෙනවා .නමුත් නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කයේ තියෙන දිය ඇලි තමා හොඳින් දැක ගන්න පුළුවන් වන්නේ.”

බදුල්ල, මහනුවර,මාතලේ, කෑගල්ල , ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්ක ආශ්‍රිතව ද මනරම් දියඇලි විශාල සංඛාවක් පිහිටා ඇත.

බොහෝ විට ඊසාන දිග මොසම් කාලය හා දෙවන අන්තර් මොසම් කාලසීමාව තුළ රාවණා ඇල්ලද ප්‍රචණ්ඩ ස්වරූපයකින් දැක ගත හැකිය.

  • බෝඹුරු ඇල්ල

බෝඹුරු ඇල්ල ඌව-පරණගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති දිය ඇල්ලකි. නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක මායිම් වලට සමීපව, වැලිමඩ නගරයේ සිට කිලෝ මීටර 15 ක් පමණ දුරින් පිහිටයි. බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දිය ඇල්ලක් සේ සැළකෙයි. ‍

සීතා එළිය- කඳපොල රක්ෂිතයේ පිහිටාති ඇති උසින් මීටර් 50ක් පමණ වන දිය ඇල්ල පළලින් මීටර් 20ක් පමණ වේ.

බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දිය ඇල්ලක් සේ සැළකෙයි. ‍
ඡායාරූප ශීර්ෂ වැකිය – බෝඹුරු ඇල්ල ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතුරින් පළලින් ඉතා වැඩි දිය ඇල්ලක් සේ සැළකෙයි
  • බේකර්ස් ඇල්ල

ශ්‍රි ලංකාවේ දියඇලි අතරින් වඩාත් ප්‍රසිද්ධ ඇල්ලක් වන මෙය පිහිටා ඇත්තේ හොර්ටන්තැන්න තුළය.

මීටර් 20ක් පමණ උස ඇල්ලක් වන මෙය වැසි වැඩි දිනවල වඩාත් චමත්කාර ජනක දර්ශනයක් මවයි.

මෙම ඇල්ල නැරඹීමට යාමේදී කිසිදු පොලිතින් දවටනයක් රැගෙන යාමට ඉඩලබා නොදෙයි.

බේකර්ස් ඇල්ල
ඡායාරූප ශීර්ෂ වැකිය – බේකර්ස් ඇල්ල පිහිටා ඇත්තේ හොර්ටන්තැන්න තුළය
  • ඩෙවෝන් දිය ඇල්ල

කොත්මලේ ඔයෙන් පෝෂණය වන ඩෙවෝන් දිය ඇල්ල ශ්‍රී ලංකාවේ සුන්දර දිය ඇලි වලින් එකකි. නුවර එළිය දිස්ත්‍රික්කයේ තලවාකැලේට බටහිරින් A7 මාර්ගය ආශ්‍රිතව ඩෙවෝන් දිය ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ලට ඩෙවෝන් යන නාමය ඉංග්‍රීසි ජාතික පුරෝගාමි තේ වැවිලිකරුවෙකු වු ඩෙවෝන්ගේ නාමය නිසා ලැබී ඇත. දිය ඇල්ලේ උස මිටර 97කි. ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් උස අනුව ඩෙවෝන් දිය ඇල්ල 19 වැනි ස්ථානයේ ඇති අතර මුහුදු මට්ටමේ සිට මිටර 1140ක් උසකින් දිය ඇල්ල පිහිටා ඇත.

  • ශාන්ත ක්ලෙයාර් ඇල්ල

ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල උසින් 20 වැනි ස්ථානය ගනී. එය අඩි 263ක් නොහොත් මීටර් 80 උසකින් යුක්තය. මෙම ඇල්ල අලංකාර ප්‍රකට දිය ඇල්ලකි.

By Chamal N at English Wikipedia, CC BY-SA 3.0, https://commons.wikimedia.org/w/index.php?curid=11118459
ඡායාරූප ශීර්ෂ වැකිය – ඉහළ කොත්මලේ ජලාශය ඉදිකිරීමට පෙර ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල දිස්වූ අයුරු
ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල
ඡායාරූප ශීර්ෂ වැකිය – ශාන්ත ක්ලෙයාර් දිය ඇල්ල දැනට සාමාන්‍ය දිනකදී දිස්වන අයුරු
  • ලක්ෂපාන ඇල්ල

උසින් මීටර් 126 ක් පමණ වන ලක්ෂපාන ඇල්ල උස අනූව ශ්‍රී ලංකාවේ 8වැනි දියඇල්ල වෙයි. එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් නගරයට සමීපව පිහිටා ඇත.

කෙහෙල්ගමු ඔයට සම්බන්ධවන ස්ථානයට ආසන්න මස්කෙළිය ඔයෙන් ලක්ෂපාන දියඇල්ල නිර්මාණය වී තිබේ.

ලක්ෂපාන ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් නගරයට සමීපව පිහිටා ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය – ලක්ෂපාන ඇල්ල නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් නගරයට සමීපව පිහිටා ඇත.
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනක රත්නායක ඉවත් කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතවේ . . .

Wed May 24 , 2023
ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (24) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. ඒ, පාර්ලිමේන්තු සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් විසිනි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් පැවැත්වුණි. එහිදී යෝජනාව ට පක්ෂව ඡන්ද 123ක් සහ විරුද්ධව ඡන්ද 77ක් හිමිවිය. ඒ අනුව කථානායකවරයා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x