ජුනි මස 01 වැනි බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුල්‍ය ප්‍රතිපත්ති විවරණය සිදු කරන බව දැනුම් දෙයි. මීට පෙර මුදල් ප්‍රතිපත්ති විවරණය පැවැතියේ පසුගිය අප්‍රේල් මස 4 වැනි දිනයි.
මුදල් ප්‍රතිපත්තිය යනු මිල ස්ථායිතාව ළඟා කර ගැනීම යන සාර්ව ආර්ථික අරමුණ ළඟා කර ගැනීම සඳහා මහ බැංකුවක් විසින් ආර්ථිකයක් තුළ මුදලේ පිරිවැය සහ මුදල් සැපයුම කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියයි.
ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම දරන ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව වන අතර, ප්‍රධාන වශයෙන් ආර්ථිකයේ ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සහ ද්‍රවශීලතාව කළමනාකරණය කිරීම මහ බැංකුව විසින් සිදු කරනු ලැබේ. ආර්ථිකයේ පවත්නා පොලී අනුපාතික මත ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මෙහෙයුම් කටයුතු බලපෑම් කරනු ලබන අතර ම, එය ණයගැතියන් හා ණයහිමියන්ගේ හැසිරීම, ආර්ථික ක්‍රියාකාරකම් සහ අවසාන වශයෙන් උද්ධමන අනුපාතිකය මත බලපෑම් ඇති කරනු ලබයි. ඒ අනුව, උද්ධමනය පාලනය කිරීම සහ උද්ධමනය අපේක්ෂිත මට්ටමක පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය භාවිත කරනු ලැබේ.
ආර්ථික සහ මිල ස්ථායිතාව
ආර්ථික සහ මිල ස්ථායිතාව යනු තිරසාර වර්ධනයක් ළඟා කර ගැනීමට උපකාරී වන අන්දමින් පොදු මිල මට්ටමේ සිදු වන පුළුල් විචලනයන් අවම මට්ටමක පවත්වා ගැනීම යි. මිල ගණන් අඩු වේගයකින් වෙනස් වන විට ආර්ථිකය තුළ කුටුම්භ සහ ව්‍යාපාරික ආයතන විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති නො කෙරේ. තව ද, මිල ස්ථායිතාව ජනතාවගේ උද්ධමන අපේක්ෂා පාලනය කිරීමට උපකාරී වන අතර, එය සත්‍ය උද්ධමනය අඩු සහ ස්ථායි මට්ටමක පවත්වා ගැනීමට හේතු වේ. එම නිසා, ආර්ථිකයේ කුමන නිෂ්පාදනයක් කළ යුතු ද, කෙසේ නිපදවිය යුතු ද යනාදී ආර්ථික තීරණ ගැනීමේ දී විකෘතිතාවක් ඇති නො කිරීමට ස්ථායි මිල ගණන් හේතු වන බැවින් දිගුකාලීන ආර්ථික ස්ථායිතාවට හා තිරසාර වර්ධනයට මඟ පෑදෙන සේ සම්පත් කාර්යක්ෂම ව යෙදවිය හැකි වේ.
මුදල් ප්‍රතිපත්ති රාමුව
වර්තමානයේ දී, ශ්‍රී ලංකා මහ බැංකුව නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ (Flexible Inflation Targeting) රාමුවකට අනුකූල ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ආර්ථික වර්ධනයට එහි විභව මට්ටම කරා ළඟා වීමට සහාය වන අතර ම උද්ධමනය මැදිකාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථායී ව පවත්වා ගැනීමට අරමුණු කර ගනී. මෙම මුදල් ප්‍රතිපත්ති රාමුවෙහි මෙහෙයුම් ක්‍රියාවලිය සැලකූ විට, කෙටිකාලීන පොලී අනුපාතික මෙහෙයවීම සඳහා මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති උපකරණ භාවිත කරනු ලබන අතර, විශේෂයෙන්ම මෙහෙයුම් ඉලක්කය ලෙස බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (Average Weighted Call Money Rate) යොදා ගනී.
මෙම මුදල් ප්‍රතිපත්ති රාමුව භාවිත කිරීමට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් ඉලක්කකරණය සහ නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණය යන ක්‍රමවේද දෙකෙහි ම ලක්ෂණවලින් සමන්විත වැඩිදියුණු කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමුවක් මත පදනම් ව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ ය. එම වැඩිදියුණු කරන ලද මුදල් ප්‍රතිපත්ති රාමුව යටතේ, උද්ධමනය මැදිකාලීන ව මැදි තනි අගයක ස්ථායී ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව උත්සාහ දරන අතර ම, ආර්ථිකයේ වර්ධන ප්‍රවණතාව පවත්වා ගැනීමට සහ විනිමය අනුපාතික නම්‍යශීලී ව පවත්වා ගැනීම සඳහා සහාය විය. වර්තමානයේ දී මෙන්, මෙහෙයුම් ඉලක්කය ලෙස බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය භාවිත කරන ලදී.
උද්ධමනය අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික වන මින් පෙර ප්‍රතිමිලදී ගැනුම් අනුපාතිකය ලෙස හඳුන්වන ලද නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (Standing Deposit Facility Rate) සහ මින් පෙර ප්‍රතිවිකුණුම් අනුපාතිකය ලෙස හඳුන්වන ලද නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (Standing Lending Facility Rate) යන පොලී අනුපාතිකවලින් සමන්විත වූ පොලී අනුපාතික කොරිඩෝව තුළ විවට වෙළඳපොළ කටයුතු සිදු කරනු ලබයි. උද්ධමනය අපේක්ෂිත මට්ටමේ පවත්වා ගැනීමේ අරමුණින් ආර්ථිකයේ පොලී අනුපාතික ව්‍යුහය හැසිරවීම සඳහා ප්‍රතිපත්ති පොලී අනුපාතික අවශ්‍ය පරිදි වරින් වර සමාලෝචනය කිරීම සහ වෙනස් කිරීම සිදු කරනු ලැබේ.
– ශ්‍රී ලංකා මහ බැංකුව