ගාල්ලේ ඉදිවන දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල . . .

ගාල්ල, කරාපිටියේ ඉදිවෙමින් පවතින නව මාතෘ රෝහල දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල වන අතර එය මෙම වසර අවසානයට පෙර විවෘත කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ඉන්ජිනේරු සේවා) සාලින්ද බණ්ඩාර පවසයි.

ඔහු මේ බව පැවසුවේ, නව රෝහලේ ඉදිකිරිම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී ය.

මෙම අවස්ථාවට ගාල්ල, මහ‍මෝදර රෝහලේ අධ්‍යක්ෂ එම්.එම්.එස්.එන්. මනතුංග, රෝහල් ව්‍යාපාතියේ අධ්‍යක්ෂ අනුරාධ නන්දසේන  ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

පිරිස රෝහල් භුමියේ නිරීක්ෂණ චාරිකාවකින් පසු ඔහු පැවසුවේ, මේ වන විට ඉදිකිරීම් කටයුතු සියයට අනූවක් පමණ අවසන් බව ය.

මහල් හයකින් යුක්ත මෙම රෝහල ඇඳන් 640කින් ද ශල්‍යාගාර 6කින් ද හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ළදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක, ඇතුළු සියලු ම නවීන වෛද්‍ය පහසුකම්වලින් ද අප ජලය පිරිසිදු කර මුදා හැරිමේ ඒකකයකින් ද යුක්ත ය.

මේ සඳහා ජර්මන් රජය විසින් ලබා දෙනු ලැබ ඇති ණය ආධාර මුදල යූරෝ මිලියන විසි පහකි (රුපියල් කෝටි 357කි). ඊට අමතරව වෛද්‍ය උපකරණ ද ලැබී ඇත.

මුල් අවස්ථාවේ රෝහල ඉදිකිරීම සඳහා ලැබුණේ පර්චස් අටසියක් වුව ද පසුව තවත් ඉඩම් කට්ටි දෙකක් ගනු ලැබීය. ඒ අනුව, දැන් රෝහල් භුමියේ ප්‍රමාණය පර්චස් දහසකට ආසන්න ය.

නිවාඩුවක් ගත කිරීම සඳහා 2004 වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ හබරාදූව, තල්පේ ප්‍රදේශයේ සංචාරක හෝටලයක නතරව සිටි ජර්මනියේ හිටපු චාන්සලර් හෙල්මුට් කෝල් සුනාමියෙන් දකුණු පළාතේ විශාලතම මාතෘ රෝහල වූ ගාල්ල මහමෝදර රෝහලට සිදුවූ හානිය දැක අලුතෙන් මාතෘ රෝහලක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි තුන් දහසක පරිත්‍යාගයක් ලබා දී ඇත.

ඒ අනුව, එවකට සිටි අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක 2007 වසරේ මෙම නව රෝහලට මුල්ගල් තැබුවේ ය.

එහෙත් එහි ඉදිකිරීම් භාර දෙනු ලැබෝ රාජ්‍ය නොවන සංවිධානය එය අතරමග නතර කර දමා ලංකාවෙන් ද පිටව යාම නිසා එම භූමිය පසුව මැසි මදුරුවන්ගේ රජ දහනක් වූ අතර විශාල පරිසර හානි සිදුවන ස්ථානයක් බවට ද පත්විය.

අනතුරුව පසුගිය රජයේ මැදිහත් වීමෙන් එහි ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කරනු ලැබූ අතර ඒ සඳහා ජර්මනියෙන් යූරෝ මිලියන විසි පහක් ලබා ගැනීම සඳහා 2015 වසරේදී ගිවිසුම් අත්සන් කරන ලදී.

නව රෝහල විවෘත කිරීමෙන් පසු මහමෝදර මාතෘ රෝහල එම ස්ථානයෙන් ඉවත් කිරිමට නියමිත ය.

මහමෝදර රෝහලේ අධ්‍යක්ෂ එම්.එම්.එස්.එන්. මනතුංග පැවසුවේ, නව රෝහල විවෘත කළ ත් බාහිර රෝගී අංශය සහ ලිංගාශ්‍රිත රෝග මර්ධන ඒකකය තව දුරට ත් මහමෝදර පැරණි රෝහලේ ම පවත්වා ගෙන යන බව ය.

එහෙත් නව රෝහල් භුමියේ වෛද්‍ය නේවාසිකාර ඉදිකළ යුතුව තිබෙන බව ද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

නව රෝහල කඩිනමින් විවෘත කිරිමට පියවර ගන්නා ලෙස මෙවර පැවති ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී එහි සභාපති ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන ද ඉල්ලා සිටියේ ය.

  • Farhan
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නිවාස ණය පිල්ලි ගැසූ නිලධාරීන් අත්අඩංගුවට . . .

Mon Jul 17 , 2023
නිවාස ණය මුදල් පෞද්ගලික  පරිහරණයට යොදාගත් නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිලධාරීන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. නිවාස ණය මුදල් වංචා කිරීම සම්බන්ධයෙන්  චෝදනා එල්ලව ඇති කුරුණෑගල, ගාල්ල, මහනුවර දිස්ත්‍රික් කාර්යාල වල සේවයේ නියුතු බාහිර ණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x