පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් පූර්ණ බලය බෙදීමකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ හැකි බව ජනාධිපතිවරයා ඊයේ (ජූලි 18) පැවසීය.
උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳ ම යෝජනාවලිය තමා මේ වන විට ත් ඉදිරිපත් කර ඇති බව ත්, එය ඉදිරියට ගෙන යනවා ද නැද්ද යන්න ද්‍රවිඩ පක්ෂ නායකයන් තීරණය කළ යුතු බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ, උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ඊයේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවේදී ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද මීට පෙර කැමැත්ත පළ කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපතිවරයා කියා සිටියේ, “තමා රනිල් වික්‍රමසිංහ මිස රනිල් රාජපක්ෂ නොවන බව” ය.
තමාට අවශ්‍ය උතුරු-නැගෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ගැටලු විසඳීම මිස ඉන් දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීම නොවන බව ද ජනාධිපතිවරයා පැවසීය.
තමා උතුරු හා නැගෙනහිර ජනතාවට කිසිදු අවස්ථාවක අසාධාරණයක් සිදු නොකරන අතර මීට වඩා යමක් ඔවුන් වෙනුවෙන් සිදු කිරීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ පූර්ණ සහයෝගය සාකච්ඡාවෙන් සහ සම්මුතියෙන් ලබාගත යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අදාළව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පොලිස් බලතල හැරුණු කොට යෝජනාවේ ඇතුළත් සියලු බලතල ලබා දීමට හැකියාවක් ඇති නමුත් පොලිස් බලතල ලබාදිය හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් ඊට එකඟවන්නේ නම් පමණක් වන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.
එසේ ම, පාර්ලිමේන්තුව තුළ 2/3ක බහුතරයක් ඊට අවශ්‍ය බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ය.
- Mawbima