සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් කෝටි 16 1/2කට ආසන්න මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට රුපියල් ලක්‍ෂ 50 බැගින් වු කොටස් 20කින් මුදල් ගෙවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ අද නියම කළේය.
නීතීපතිවරයා ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා පත්‍රයට වරද පිළිගැනීමෙන් අනතුරුව එලෙස නියම කළ විනිසුරුවරයා අදාළ මුදල් ගෙවීමෙන් අනතුරව චෝදනා සම්බන්ධයෙන් විත්තිකරුවන්ට දඬුවම් නියම කරන බවද වැඩිදුරටත් දැනුම් දුන්නේය.
2006 සහ 2008 කාල වකවානු අතරතුරදී මුල්‍ය පනතට පටහැනි අන්දමට ”සක්විති කන්ට්‍රක්ෂන් හවුස් ප්‍රයිවට් ලිමිටඩ්” නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් 16 41 85 000/-ක මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීම මුල්‍ය පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.
නඩුව කැඳවනු ලැබ අවස්ථාවෙදී විත්තිකාර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අධිකරණයේ පෙනී සිටියහ.
මුලින්ම මෙම සිද්ධියට අදාළව සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ඇතුලු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබු අතර මීට පෙර අවස්ථාවක ඉන් විත්තිකරුවන් 09 දෙනෙකු නීතීපතිවරයාගේ උපදෙස් මත නිදහස් කෙරිණී.
සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව කැඳවුනු ලැබු අවස්ථාවේදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී අල්විස් සහ රවීන්ද්‍ර සෙනරත් කරුණු ඉදිරිපත් කරමින් මෙම චෝදනාවන්ට තම සේවාදායකයින් වරද පිළිගන්නේ යැයි කීහ.
- මනෝප්‍රිය ගුණසේකර