හොර වීසා දුන් ආගමන විගමන නිලධාරියා රිමාන්ඩ් . . .

සංචාරක වීසා මගින් ඕමානයේ රැකියාවක් සඳහා යාමට පැමිණි කාන්තාවක හා ඉන්දියානු වීසා බලපත්‍රයක් හා ගුවන් ටිකට් පතක් පෙන්වා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් නොමග යවා ඇය ගුවන්තොටුපළ තුළට ගෙන ගිය ආගමන හා විගමන නිලධාරියෙකු කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් 27 වන දා පස්වරුවේ මෙම සිද්ධිය සිදුවී ඇත්තේ ගුවන් යානා කිහිපයක් පිටත් වීමට නියමිත ඉතා කාර්ය බහුල වේලාවක බව ද පැවසේ.

මෙම ආගමන විගමන නිලධාරියා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්ය භාර නිලධාරියා හමුවී තමන්ගේ හිතවතියක් ලෙස එකී විදේශගත වන කාන්තාව හඳුන්වා දී ඇය ඉන්දියාවේ සංචාරයකට යන බව පවසා ඉක්මනින් කාර්යාංශ මුද්‍රාව තබා දෙන්නැයි ඉල්ලා තිබේ.

ඒ අනුව එහි කාර්යභාර නිලධාරියා මුද්‍රාව තබා ඇති බව ත්, පසුව එහි සිටි කාර්යාංශ නිලධාරිනියකගේ උකුසු ඇස මෙම ආගමන විගමන නිලධාරියා හා මගී කාන්තාව කෙරෙහි යොමු වී ඔවුන් පසුපස පැන්නීම නිසා මෙම දෙදෙනා අත්අඩංගුවට ගත හැකිවී ඇති බව ත් වාර්තා වේ.

ඕමාන මගීන්ගේ කවුන්ටරයේදී මෙම දෙදෙනා පරීක්ෂා කිරීමේදී ඉන්දියානු වීසා සහ ඉන්දියානු ගුවන් ටිකට් පතක මුද්‍රිත පිටපතක් ද ඕමාන සංචාරක වීසා සහ ඕමාන ගුවන් ටිකට් පතක් ද ඇය ළඟ තිබූ බැවින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

ඕමානයට යන ශ්‍රී ලාංකික කාන්තාවන් විවිධ හිරිහැරවලට ලක්වන බැවින් එහි ගෘහ සේවිකා රැකියා සඳහා යාම නවතා ඇති වකවානුවක මෙම ආගමන විගමන නිලධාරියා මෙසේ සංචාරක වීසා මගින් කාන්තාවන් එහි යවන ජාවාරමක කොටස්කරුවෙකු විය හැකි යැයි විමර්ශන නිලධාරීහු සැක කරති.

ජාවාරම්වල නියැළී අසුවන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඕනෑ ම තරාතිරමක සාමාජිකයෙකුට එරෙහිව තත්ත්වය නොබලා කටයුතු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අදාළ අංශවලට උපදෙස් දී ඇත.

අදාළ ආගමන විගමන නිලධාරියා සහ මගී කාන්තාව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ආගමන විගමන නිලධාරියා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර සැකකාර කාන්තාව රුපියල් 7,500ක මුදල් හා රුපියල් 25,000ක ශරීර ඇප මත මුදා හැර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාවින්ද පියසේකර ගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ස්ථානාධිපති හේවාවඩු වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

  • කීර්ති මෙන්ඩිස්, විනීතා එම්. ගමගේ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කතානායක නිල නිවස ඉදිරිපිට යකඩ හොරුන් අල්ලයි . . .

Sat Jul 29 , 2023
පොල්දූව වටරවුම ආසන්නයේ පිහිටි කතානායක නිල නිවස ඉදිරිපිට සවිකර තිබූ සවි කර තිබූ රුපියල් 2,812,350 වටිනා යකඩ බට සහ යකඩ ක්ලිප් තොගයක්සොරාගෙන ගිය බව කියන පුද්ගලයන් දෙදෙනෙක් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. මීට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විදුලි පරිපථවල සවිකර තිබූරුපියල් 2,100,000වටිනා වයර් කපාගෙන හොරාගෙන බව කියන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x