ලබාගත් ඉන්ධන වෙනුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි විසි තුන් දහස් අට සියයක් (23800) ගෙවීම පැහැර හැර ඇතැයි මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්ව පිළිබඳ වාර්තාවේ (2023) සඳහන් වේ.
මෙම හිඟ මුදල හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවත්වාගෙන යෑමේ බරපතළ අර්බුදයක් පැන නැගී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්වය දුර්වලවී ඇති හෙයින් මෙම ගැටලුව මතුව ඇති බවද එම වාර්තාවේ දැක්වේ.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පසුගිය වසරේ අප්‍රේල් මාසය වනවිට ඉන්දීය ණය පහසුකම වෙනුවෙන් රජයට ඇමරිකානු ඩොලර් කෝටි හැට නවයක්ද ජාතික ඉරාන තෙල් සමාගමට ඇමරිකානු ඩොලර් කෝටි 25ක්ද ලංකා බැංකුවට රුපියල් කෝටි දෙදහස් හයසියයක්ද ගෙවීමට තිබූ බව මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි.
ඉන්ධන ආනයනය පහසු කිරීම සඳහා භාවිතා කළ ඇමරිකානු ඩොලර් කෝටි 69 ක ඉන්දීය ණය පහසුකම පියවීමේ අර්බුදයකට ඛනිජ තෙල් සංස්ථාව පත්ව සිටින බව පවසන එම වාර්තාව ලංකා විදුලිබල මණ්ඩලය සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණ කිරීමේ රජයේ උපාය මාර්ගයෙන් එම මුදල් ගැටලුව නිරාකරණය වනු ඇතැයි අපේක්ෂා කරයි.
මුදල්, ආර්ථික ස්ථායිකරණ, සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ව පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කෙරිණ.
- සුජිත් හේවාජුලිගේ