ලාදුරු අවදානම ඉහළට . . .

මේ වසරේ වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයේ, මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

එම කාර්යාංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික රෝහලේ, මධ්‍යම ලාදුරු සායනයේ, ප්‍රධාන වෛද්‍ය නිලධාරී සනත් දීපක පවසා සිටියේ, මේ වනවිට රෝගීන් 127ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන වෛද්‍ය නිලධාරී සනත් දීපක,

“ඇත්තටම මේ රෝගය ශරීරගතවෙලා රෝග ලක්ෂණ මතුවෙන්න අවුරුදු 3ක් – 5ක් වගේ යනවා. ඒ නිසා එක පාරට මේ රෝගය මතුවෙන්නේ නෑ. එතනයි ප්‍රශ්නය තියෙන්නේ, අද අපිට වාර්තාවන රෝගියෙක්ට රෝගය ශරීර ගතවෙලා තියෙන්නේ අවුරුදු 3කට 5කට කලින් වෙන්න පුළුවන්. රෝග ලක්ෂණ ඇති වෙලා ඉක්මනින් රෝගීන් අප වෙත එන්නේ නෑ. මේක සැඟවිලා තියෙනවා. ගොඩක් අයගේ ශරීර තුළ අවුරුදු ගණන් මේ රෝග ලක්ෂණ තිබිලා තමයි මේ රෝග ලක්ෂණ මතුවෙන්න ගන්නේ. ඒක තමා අපිට තියෙන අභියෝගය. නමුත් පරක්කු වෙලා රෝග ලක්ෂණ මතුවුණාට ප්‍රතිකාර කිරීම මඟින් අවුරුද්දක්, මාස 6ක් ඇතුළත මේක සුව කරන්න පුළුවන්. ඒක තමා අපි සතුටු වෙන කාරණය. පාලනය කරන්න අමාරු වෙලා තියෙන්නේ රෝග ලක්ෂණ මතුවෙන්න අවුරුදු ගාණක් යන නිසා.

මේක හිරිවැටුණ පැච් එකක්. හමේ පාට අඩු හිරි වැටීමක් තියෙන පැච් එකක්. මේක වේදනාවක් නෑ. කැසීමක් නෑ. හිරි වැටීමක් විතරයි තියෙන්නේ. මේක නොසලකා එදිනෙදා රාජකාරි කටයුතු කරනවා. මේක මුලිකත්වය දෙන්නේ නෑ මොකද මේක බාධාවක් නෑනේ. කල්පැවතිලා මේක වැඩිවෙලා ඇඟිලි හැලෙන තත්ත්වයට පත්වුණාම තුවාල හොඳවෙන්නේ නැතුව තියෙන කොට මිනිස්සු මේකට ප්‍රතිකාර ගන්න නැඹුරු වෙනවා. එතකොට පරක්කු වැඩියි. එවැනි රෝගීන් වැඩි වශයෙන් මේ රෝගය පතුරවනවා. අන්න ඒකයි ලොකුම ප්‍රශ්නය.”

එම මාධ්‍ය හමුවට එක්වු මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මංජුලා තිලකරත්න මහත්මිය පවසා සිටියේ, මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලාදුරු රෝගීන් 120ක් පමණ වසරකට වාර්තා වන බවය.

එමෙන්ම මේ වසරේ මුල් මාස 6තුළ මොරටුවෙන් ලාදුරු රෝගීන් 51 දෙනෙක් වාර්තා වී ඇති අතර, ඒ අතර අවුරුදු 14ට අඩු දරුවන් 8 දෙනෙක් සිටින බව ද මංජුලා තිලකරත්න පැවසුවාය.

“ඇත්තටම අපිට රෝගීන් 51ක් වාර්තා වුණත් ඊට වඩා රෝගීන් අපි දන්නවා මේ ප්‍රදේශයේ ඉන්නවා කියලා. මේ රෝගය සම්බන්ධයෙන් තියෙන අනිසි බිය ඒ වගේම පිළිකුල් කරන තත්ත්වය නිසා ගොඩක් රෝගීන් රෝහල්වලට යන්නේ නෑ.

සමාජයේ සැඟවිලා ඉන්න අපිට හඳුනාගන්න බැරි රෝගීන් නිසා තමයි සමාජයේ මේක ව්‍යාප්ත වෙන්නේ. ඒ රෝගීන් හඳුනාගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමා විසින් අපි වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. වැඩිපුර රෝගීන් වාර්තා වන අවධානම් සහිත ග්‍රාම නිලධාරී වසම්වලට ගිහින් සියලුම නිවාසවල පුද්ගලයින් ලාදුරු රෝගීන් ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමට. අපි මේකේ පළමු වැඩසටහන කොරලවැල්ල ප්‍රදේශයේ පැවැත්වුවා. එහිදී ලාදුරු බවට සැක රෝගීන් 45ක් හඳුනාගත්තා. මොවුන් පානදුර රෝහලේ හමේ රෝග සායනය වෙත යොමු කරා. එහිදී මේ වෙද්දි ලාදුරු බවට තහවුරු වු රෝගීන් තුනක් සොයාගෙන තියෙනවා.”

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොළඹ ජාතික රෝහලේ ශ්‍යල්‍යාගාර අනතුරේ . . .

Wed Aug 9 , 2023
කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර සහ දැඩිසත්කාර ඒකකවල අභ්‍යන්තරය පිරිසිදු කිරීම සඳහා පිටස්තර සුළු සේවකයන් යොදාගැනීමෙන් රෝගී ජීවිත දැඩි අවදානමකට පත්ව ඇතැයි එම රෝහලේ විශේෂඥා වෛද්‍යවරු පවසති. ශල්‍යකර්මවලින් පසුව සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලැබීමෙන් පසුව රෝගීන් විවිධ අසාධන තත්වයන්ට පත්වීම ඉහළ ගොස් ඇති වාතාරණයක් තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උසස් නිලධාරියෙක්ගේ අනුදැනුම යටතේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x