නියඟයෙන් වැඩිම හානිය කුරුණෑගල ගොවීන්ට . . .

මෙවර යල කන්නයට බලපෑ වියළි කාලගුණය හේතුවෙන් මේ වන විට වැඩි ම වගා හානි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්. බී. වීරසේකර කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරට දැනුම් දී ඇත.

වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වගා හානි සිදු වී ඇතත් දැනට සිදු කර ඇති තක්සේරු කිරීම් අනුව වැඩි ම වගා හානි සිදුවීම් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් බව සභාපතිවරයා එහිදී සඳහන් කොට තිබේ.

මේ අතර, වියළි කාලගුණයෙන් සිදු වූ වගා හානි සම්බන්ධව සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරි සතිය තුළ තමාට ලබා දෙන්නැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ඊයේ (අගෝ. 10) කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් ලබා දී ඇත.

මෙතෙක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් වගා හානි සඳහා ගෙවා ඇති වැඩි ම මුදල් ප්‍රමාණය මෙවර යල කන්නය සඳහා ගෙවීමට රජයට සිදුවනු ඇති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා හමුවේ පවසා තිබේ.

එම මුදල් ප්‍රමාණය කෙතෙක් ද යන්න සිතා ගැනීමටවත් නොහැකි වනු ඇතැයි එහිදී ඇමතිවරයා අවධාරණය කොට ඇත.

මෙවර යල කන්නයේදී සිදුවී ඇති වගා හානි වීම් තක්සේරු කිරීමේ කටයුතු වහාම අරඹන්නැයි කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ලබා දුන් උපදෙස් අනුව මේ වනවිට එම මණ්ඩලය සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි හානි තක්සේරු කිරීම් ආරම්භ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහගෙන් ‘මව්බිම’ කළ විමසීමේදී ඔහු පැවසුවේ ගොවිජන රක්ෂණයේ නිලධාරීන් මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරීක්ෂණය කරමින් හානි වූ ගොවිබිම් පිළිබඳ තක්සේරු කටයුතු සිදුකරමින් සිටින බව ය.

කෙතරම් වගා බිම් ප්‍රමාණයක් වියළි කාලගුණයෙන් විනාශ වී ඇද්ද යන්න නිශ්චිතව ම ප්‍රකාශ කළ නොහැකි බව ද ඔහු කීය. හම්බන්තොට, මොනරාගල හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් මේ වන විට වගා හානි වීම් වැඩි වශයෙන් වාර්තා වී ඇති බව ත් ඒ පිළිබඳ පූර්ණ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ හැක්කේ ගොවිජන රක්ෂණ නිලධාරීන් සිදුකරන තක්සේරු කටයුතු අවසන් වූ පසුව බව ද ලේකම්වරයා අවධාරණය කළේ ය.

එමෙන් ම මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් තුන්දහසක් පමණ හානි වී ඇතැයි හඳුනාගෙන ඇතැයි ඔහු කීය. සුළු වාරිමාර්ග ආශ්‍රයෙන් වගා කළ ගොවි බිම් හෙක්ටයාර 196.2ක් පමණ හානියට පත්ව ඇතැයි ද මහවැලි කලාපයේ ගොවිබිම් 3,850ක් පමණ පූර්ණ ලෙස හානි වී ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේ ය.

පසුගිය වකවානුවේදී වගා හානි නොවූ ගොවීන් ද වගා හානි වූ බව පවසමින් වගා වන්දි ලබාගෙන ඇතැයි අනාවරණය වී ඇති නිසා ගොවිජන රක්ෂණ නිලධාරීන් ක්‍ෂේත්‍රයේ සිදුකරන පරීක්ෂා කිරීම්වලින් අනතුරුව පමණක් වගා වන්දි ලබා දෙන බව ද ඔහු පැවසීය.

  • savani
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොටින්ගේ රන් හොයන්න ගිහින් මාට්ටු . . .

Fri Aug 11 , 2023
තිස් වසරක යුද්ධය පැවති සමයේ  කොටි  සංවිධානය විසින් සඟවා ඇතැ යි කියන රන්, මුදල් හා අවි ආයුධ  සෙවීම සදහා  අති නවීන පන්නයේ  ස්කෑන් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි සිව් දෙනෙකු කතකපුරම් මහවිරු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව  පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි . පොලිස් විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x