ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ පෙරියකුලම් පිහිටි බොරලුකන්ද රජමහා විහාරයේ දැනට සිදුකරණ ඉදිකිරිම් හා සුද්ධ පවිත්‍ර කිරිම් තාවකාලිකව නවත්වන ලෙස නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් නියෝගයක් කර ඇතැයි විහාරාධිපති අම්පිටියේ සීල වංශතිස්ස හිමියෝ පවසති.
ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම්වරයා ඒ බව ලිඛිතව විහාරාධිපති අම්පිටියේ ශීලවංශතිස්ස හිමියන් වෙත දැනුම් දි ඇතැයි විහාරාධිකාරි ත්‍රිකුණාමලයේ සුඛිත වංශතිස්ස හිමියෝ පැවසුහ.
ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් නැගෙනහිර ආණ්ඩුකාර අමතා දුරකථනයෙන් ලබාදුන් උපදෙස් අනුව ප්‍රාදේශිය ලේකම්වරයා මෙම කටයුතු නවතාලන ලෙස ලිඛිතව දැනුම් දි තිබේ.
බොරලුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු අවට ජනතාවගේ දැඩි විරෝධය හේතුවෙන් තාවකාලිකව නතර කරන ලෙස ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.සම්බන්ධන් හා ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් ගේ දුරකථන ඇමතුමෙන් ලද වාචික උපදෙස් පරිදි එළි පෙහෙලි කිරිම් හා ඉදිකිරිම් තාවකාලිකව නතර කරන ලෙස ප්‍රාදේශීය ලේකම් පොන්නයියා ධනේෂ්වරන් එවා ඇති ලිඛිත නියෝගයේ දැක්වේ.
අදාල නියෝගයේ පිටපත් ආණ්ඩුකාර ලේකම් , දිසාපති, ත්‍රිකුණාමල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි, නිලාවේලි පොලිස් ස්ථානාධිපති, ඉලුප්පුකුලම් ග්‍රාමනිලධාරි වෙත යවා තිබේ.
ත්‍රිකුණාමලය නිලාවේලි පාරේ ඉලුප්පුකුලම් ප්‍රදේශයේ සංවර්ධනය කෙරෙන බොරලුකන්ද රජමහ විහාරයේ සංවර්ධන කටයුතු තාවකාලිකව නවතාලීම සම්බන්ධයෙන් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මෙසේ පැවසීය.
විහාරස්ථානයට අයිති ඉඩම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අරගෙන තියනවා. ඊට යාබද ස්ථානයේ තමයි මෙම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදුවන්නේ. යාබද ඉඩම අවට දෙමල පවුල් 500කට වැඩි ප්‍රමාණයක් පදිංචි වෙලා ඉන්නවා. සිංහල පවුල් දෙකයි ඉන්නේ. එහි පදිංචි දෙමල ජනතාව නිරන්තරයෙන් මම මුණගැසි මෙහි විහාරස්ථානයක් ඉදි කිරිම සම්බන්ධයෙන් විරෝධය පල කරනවා. ඒ අය උද්ඝෝෂණය කරනවා වැඩ නතර වුනේ නැත්නම් පාරේ ඉද ගන්නවා කියනවා. විරෝධතා මැද පන්සලක් හදන්න ගියාම ඒ විහාරාධිපති හිමියන්ට අගෞරවයක් වන බව ඒ ස්වාමින් වහන්සේ හමුවි මම කිව්වා. මම පන්සලක් හැදෙනවාට විරුද්ධ කෙනෙක් නෙමෙයි. මම මේ පලාතේ දේශපාලනය කරන කෙනෙකුත් නෙවෙයි. මේ ප්‍රදේශයේ ජනතාව සමගියෙන් ඉන්න ඕන නිසා ගත්ත තීන්දුවක්. 99%ක් දෙමල ජනතාව ඉන්න ප්‍රදේශයක පන්සලක් හැදුවම එල්ල වන විරෝධය නිසා මේ පන්සල හදන එක ගැන තීන්දුවක් ගැනිමට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉන්න මන්ත්‍රිවරු දෙදෙනා වන ආර්.සම්බන්ධන් හා කපිල නුවන් අතුකෝරල යන මන්ත්‍රිවරුන් දෙදෙනාට භාරකරලා තියනවා යැයි පැවසීය.
- අමදෝරු අමරජිව