නියඟය සහ උඩවලව ජලාශයට ජලය මුදාහැරීම හේතුවෙන් සමනළ වැව ජලාශයේ ජල ධාරීතාව විදුලි නිෂ්පාදනයට ප්‍රමාණවත් නොවන බැවින් එහි විදුලි ජනනය හෙට (16) සිට අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (15) පැවසීය.
මෙම තත්වය හේතුවෙන් සමනළ වැව ජලාශයෙන් ජාතික විදුලි පද්ධතියට එකතු වන මෙගාවොට් 120 ක විදුලිය ප්‍රමාණය අහිමිවන අතර ඒ අනුව පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 100 ප්‍රමාණයක් මිලදී ගැනීමට නියමිතය.
එම අහිමිවන විදුලි ප්‍රමාණය සපුරාගැනීමට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදීගන්නා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර කීය.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ඇති පෞද්ගලික විදුලි බලාගාර හතරට විදුලි මිලදී ගැනීමට යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුව ඇඹිලිපිටිය සහ මාතර පිහිටි දැවිතෙල් බලාගාර දෙකෙන් විදුලිය සැපයීමට ඉදිරිපත් වී ඇති බවත් එම බලාගාරවලට දැවිතෙල් ඛනිජ තෙල් සංස්ථාව හරහා දී සේවකයන් ලබාගෙන විදුලිය ජනනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ලංකා විදුලිබල මණ්ඩල සතු සියලුම විදුලිබලාගාර උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක කර පෞද්ගලික මිලදී ගැනීම්වලින් තොරව විදුලිය සැපයීමට උත්සහ කළ ද පවතින තත්වය අනුව පෞද්ගලික මිලදී ගැනීම්වලට යෑමට සිදුවූ බවත් නියඟයේ බලපෑම හෝ වෙනත් හේතූන් මත විදුලි ඉල්ලුම ද ඉහළ ගොස් ඇති බවත් අමාත්‍යවරයා කීය.
මෙම වසරේ ජල විදුලියෙන් ගිගාවොට් 4,200 ත් 4,500 ත් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ හැකි යැයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපතිවරයා පැවසුව ද වර්තමාන නියන් තත්වයත් සමඟ මෙම වසරේ ජල විදුලියෙන් ජනනය කළ හැක්කේ ගිගාවොට් 3,800 ත් 4,000 ත් අතර ප්‍රමාණයක් බව කී අමාත්‍යවරයා ඔක්තෝබර් මස වර්ෂාව ලැබෙන තෙක් ජල විදුලියෙන් විශාල විදුලියක් බලාපොරොත්තු විය නොහැකි බව ද සඳහන් කළේය.
විදුලිබල මණ්ඩල සතු විදුලි බලාගාරවල විදුලි ඒකකයක් නිෂ්පාදනයට වැය වන පිරිවැයට වඩා අඩු මුදලකට පෞද්ගලික බලාගාර විදුලිය සැපයීමට සූදානම් බව කී අමාත්‍යවරයා සඳහන් කළේ එහිදී විදුලි ඒකකයක් රුපියල් 52 ත් 58 ත් අතර මිලට ලැබෙන බවත්ය.
මෙම වසරේ මාර්තු මාසයේ ද පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අනුමැතිය ලැබුණ ද විදුලිබල මණ්ඩලය සතු බලාගාර කළමනාකරණය කරමින් එම මිලදී ගැනීම නොකළ බවත් මේ අවස්ථාව වන විට කිසිඳු විදුලි කප්පාදුවක් සැළසුම් කර නොමැති බවත් අමාත්‍යවරයා පැවසීය.
- යොහාන් භාසුර