ඊශ්‍රායලයේ අකිරා ගුවන් සේවය ඔක්තෝබර් 31 සිට සතියකට දෙවරක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් සිදු කිරීමට නියමිත බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.
පසුගිය 19 වනදා හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් අප වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. අද සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට පැමිණීමට පටන් ගෙන තිබෙනවා.
ජනාධිපතිතුමා සිදු කළ ඉන්දීය සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස අද වැඩිම සංචාරයකයන් ප්‍රමාණයක් අපේ රටට පැමිණෙන්නේ ඉන්දියාවෙන්. ඒ වගේම තුන්වනුව ඉහළම සංචාරකයන් ප්‍රමාණයක් චීනයෙන් අපේ රටට පැමිණෙනවා. සියලුම ගුවන් සමාගම් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පටන්ගෙන තිබෙන අතර කටාර් එයාර්වේස් දැනට දිනකට හය වතාවක් ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කරනවා.
තුර්කි ගුවන් සේවයද ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කරන අතර සිංගප්පූරු ගුවන් සේවය සතියේ දින හතේම මෙරටට පැමිණෙනවා. ඊශ්‍රායලයේ අකිරා ගුවන් සේවය ඔක්තෝබර් 31 සිට සතියකට දෙවරක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් සිදු කිරීමට නියමිත බව ප්‍රකාශ කර තිබෙනවා. තවත් බොහෝ ගුවන් ගමන් සේවා ඉදිරියේ දී වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. අපේ ගුවන් සේවා සතියකට 80 වතාවක් පමණ ඉන්දියාවට ගුවන් ගමන් සිදු කරනවා.”