එළැඹෙන 2024 වසරේ විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා සහ ලබානොගත් නිවාඩු සඳහා ලබාදෙන දීමනා ගෙවීම සිදුනොකරන බව විදුලි බල සහ බලශක්ති ඇමැති කංචන විජේසේකර එම මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන්ට පවසා ඇත.
ඒ විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති 35ක නියෝජිතයන් පසුගිය බ්‍රහස්පතින්දා (14වැනිදා) දිනයේදී හමුවූ අවස්ථාවේදීය. මෙහිදී විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ ගැන ඇමැතිවරයා සහ වෘත්තිය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.
වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දෙන්නේ මෙම සාකච්ඡාව අසාර්ථක වූ බවය.
විදුලි බල මණ්ඩලය සතුව මුදල් නොමැති බැවින් ප්‍රසාද දීමනා ගෙවීම අත්හිටුවීමට සිදුවන බව මෙහිදී ඇමැතිවරයා පැවසූ බවත් බෝනස් ලබාදීමට තබා දැන් සිදුව ඇත්තේ මණ්ඩලයේ සේවකයන්ගේ වැටුපෙන් මණ්ඩලයට ශත පනහක් හෝ අය කරගැනීමට බවද මෙහිදී ඇමැතිවරයා කියා තිබේ.
වෘත්තීය සමිති නියෝජිතයන් කියා සිටින්නේ විදුලි බල මණ්ඩලයේ මුදල් නොමැති වී ඇත්තේ සේවකයන්ගේ වරදකින් නිසා නොව අදාළ වගකිව යුතු බලධාරීන්ගේ ක්‍රියා නිසාම බවය.
මෙහිදී ඇමැතිවරයා පවසා ඇත්තේ එළැඹෙන 24 වැනිදා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබාගන්නා බවය.
මේ අතර විදුලි බල අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ ඇමැති කංචන විජේසේකර යෝජිත ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය, නව විදුලිබල පනතේ ආකෘතිය, ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියට අදාළ නියමයන් ක්‍රියාත්මක කරන කාල රාමුව, මානව සම්පත් විගණනය සහ සේවකයන් අනුයුක්ත කිරීමේ ක්‍රමවේදය, විශ්‍රාම වැටුප් සහ සේවක වරප්‍රසාද පිළිබඳව අනුගමනය කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවය.
සංවර්ධන නියෝජිත ආයතන මෙම ක්‍රියාවලියට ලබා දී ඇති සහය, විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යාංශය පිහිටුවීම, යෝජිත නව සමාගමේ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් ද ඇමැතිවරයා මෙහිදී ඔවුන් දැනුවත් කර තිබෙන බවය.