රියැදුරුට හදිසි හෘදයාබාධයක් . . .

මගීන් 70ක පමණ පිරිසක් රැගෙන මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගනිමින් තිබූ පෞද්ගලික බස් රථයක රියැදුරු හදිසියේ රෝගී වීමෙන් බස් රථය ඔහුගේ පාලනයෙන් මිදී ගමන් ගනිද්දී එහි සිටි මගියෙකු වහා ක්‍රියාත්මක වී අතින් තිරිංග තද කර බස් රථය නතර කර ගැනීමේ පුවතක් ඊයේ (ඔක්. 5) පේරාදෙණිය රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයකදී අනාවරණය විය.

බස් රථය තුළ හදිසියේ රෝගී වූ රියැදුරු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පෙරේදා (ඔක්. 4) රාත්‍රියේ මියගොස් ඇත.

මියගොස් ඇත්තේ චමින්ද ප්‍රභාත් සරත්චන්ද්‍ර (49) නමැති කිඳගම්මුල්ල ගම්පහ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහු බස් රථයේ හිමිකරු බව පොලිසිය පවසයි.

මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පේරාදෙණිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි නිලන්ති නීලවල විසින් පවත්වනු ලද අතර හෘදයාබාධයක් හේතුවෙන් මරණය සිදුව තිබෙන බවට ඇය තීරණය කර තිබේ. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන හමුවේ මරණ පරීක්ෂණය පැවති අතර පේරාදෙණිය රෝහල් පොලිසියේ පොලිස් සැරයන් ජයලත් (32888) විසින් සාක්ෂි මෙහෙයවනු ලැබීය.

සිද්ධිය වන අවස්ථාවේ බස් රථයේ ගමන් ගත් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි තුෂාර ප්‍රදීප් වීරකෝන් මෙසේ කීවේය.

“හවස වැඩ ඇරිලා 6:40ට විතර මම පේරාදෙණියෙන් බස් රථයට නැග්ගා. කිරිබත්කුඹුර කිට්ටුවට යනකොට බස් එකේ සියලු ආසන පිරී ගොස් තවත් 30 දෙනෙකු පමණ හිටගෙන හිටියා. එක පාරට ම කෑගසන ශබ්දයක් ආවා. මම ඉදිරියට ගිහින් බලනකොට රියැදුරු අසුනේ සිටි පුද්ගලයා පැත්තකට ඇලවෙලා ඉන්නවා දැක්කා. බස් එක ඔහුගේ පාලනයෙන් මිදී ඉදිරියට යමින් තිබුණා. ඒත් එක්ක ම පාපුවරුවේ හිටපු කෙනෙක් ඇවිත් රියැදුරු අසුන දෙසට බරවී අතින් තිරිංග තද කරලා බස් එක නතර කළා. බස් එකේ වෛද්‍යවරයෙක් හිටියා. එතුමා මූලික ප්‍රතිකාර ලබා දී ඉක්මනින් ලෙඩා රෝහලට අරන් යන්න කිව්වා.

මම ත්‍රිරෝද රථයකින් ඔහුව පේරාදෙණියට අරන් ආවා. පැය කිහිපයකට පසු ඔහු මියගිය බව දැන ගන්න ලැබුණා. තවත් විනාඩි 15ක හෝ 20 කාලයකකදී සාමාන්‍යයෙන් මෙම බස් රථය කඩුගන්නාව බෑවුම ආසන්නයට ළඟා වෙනවා. ඒ අවස්ථාවේ රියැදුරු මෙලෙස අසනීප වූයේ නම් විශාල ව්‍යසනයක් සිදුවීමට ඉඩ තිබුණා.”

සාක්ෂි ලබා ගැනීමෙන් පසු මරණ පරීක්ෂණය කල් තබමින් වැඩිදුර සාක්ෂි සඳහා ප්‍රවාහන අධිකාරියේ මධ්‍යම පළාත් කාර්යාලයේ මහනුවර දිස්ත්‍රික් කළමනාකාරවරයා කැඳවන ලෙස හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන පොලිසියට නියෝග කර තිබේ.

එහිදී සාක්ෂි දුන් මියගිය බස් රියැදුරුගේ බිරිය වන වේරගොඩ විදානලාගේ සුරේන්ද්‍රා (48) මෙයට පෙර හෘදයාබාධයකට ලක්ව සිදුකළ පරීක්ෂණයකින් පසු තම සැමියාට එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස වෛද්‍ය උපදෙස් ලැබී තිබුණු බව ත් ඒ පිළිබඳව ඔහු එතරම් උනන්දුවක් නොදැක් වූ බව ත් පැවසුවා ය.

  • K. L. Suraweera – Kandy
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පරිභෝජනයට නුසුදුසු බයිට් හැදූ ආයතනයක් වහන්න නියෝග . . .

Fri Oct 6 , 2023
මිනිස් පරිභෝජනයට නුසුදුසු මුරුක්කු සහ බයිට් වර්ග නිෂ්පාදනය කරන බවට චෝදනා ලැබ තිබූ කටාන, දෙමංහන්දිය ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදන ආයතනයක් වසා දමන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් දර්ස්ශිමා ප්‍රේමරත්න ඊයේ (05 වැනිදා) නියෝග කළාය. මෙලෙස නියෝග කරනු ලැබුවේ අදාළ ආයතනය පවත්වාගෙන ගිය අංක 275, කොන්දගම්මුල්ල දෙමංහන්දිය පදිංචි ගැමුණු ශානක නමැත්තකුටය. මෙම ස්ථානයෙහි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x