ගාමිණී ෆොන්සේකාගේ වන්දි නඩුවේ තින්දුව . . .

මෙරට සිනමාවේ ප්‍රවීණයෙකු වූ සිනමා සක්විති ලෙස ප්‍රකට ගාමිණී ෆොන්සේකාට රුපියල් මිලියන 300ක වන්දියක් ගෙවන ලෙසට හම්බන්තොට දිසා අධිකරණය විසින් 1999.12.13 වැනිදා හම්බන්තොට මහජන බැංකුවට නියම කරමින් ලබාදී තිබූ තීන්දුවක් අභියාචනාධිකරණය බලරහිත කර තිබේ.

“ගාමිණී ෆොන්සේකාගෙන් ලක්ෂ 25 ක බැංකු පොල්ලක්” යන සිරස්තලය යටතේ රාවය පුවත්පතේ ප්‍රවෘත්තියක් පලවී ඇති බවත් තමන් බැංකුවට පොලු තැබූ බවට රාවය පුවත්පතට තොරතුරු ලබාදී ඇත්තේ මහජන බැංකුව හෝ එම බැංකුවේ තිස්සමහාරාම ශාඛාවේ කළමනාකරු වන බවත් සඳහන් කරමින් ගාමිණී ෆොන්සේකා සිය කීර්ති නාමයට සිදුවූ හානියට වන්දි ලබාදෙන ලෙස ඉල්ලා පවරා තිබූ නඩුවක් විභාග කළ හම්බන්තොට දිසා අධිකරණය එම වන්දි මුදල ගෙවන ලෙසට මහජන බැංකුවට නියෝග කරමින් තීන්දුවක් ලබාදී තිබී ඇත.

ගාමිණී ෆොන්සේකා විසින් හම්බන්තොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය “සැනසුම හොලිඩේ රිෂෝට් ප්‍රයිවට් ලිමිටඩ්” නමැති ආයතනය සඳහා තිස්සමහාරාම ශාඛාවෙන් ණය මුදලක් ලබාගෙන තිබී ඇත. 1983 කළු ජූලිය සමයේ සිය ආයතනය විනාශ වීම නිසා බැංකුව හා තමා අතර ඇති කර ගත් එකඟතාවක් අනුව ණය මුදල පිළිබඳ ගැටලුව සමථයකට පත්කරගෙන තිබී ඇත. එසේ සමථයකට පත්කරගෙන තිබියදී එලෙස ප්‍රවෘත්තියක් පළ වීම නිසා ගාමිණී ෆොන්සේකා විසින් අදාල වන්දි නඩුව ගොනු කර තිබේ.

එවකට පැවැති රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙසද කටයුතු කළ තමාගේ කීර්ති නාමයට දැඩි හානියක් සිදුවී ඇතැයිද ගාමිණී ෆොන්සේකා සිය පැමිණිලි මගින් දිසා අධිකරණයට පෙන්වාදී තිබේ.

රාවය පුවත්පත එම ප්‍රවෘත්තිය පළ කර ඇත්තේ ලංකා බැංකුවෙන් හෝ බැංකු කළමනාකරුගෙන් ලබා ගත් තොරතුරු මත බවට ප්‍රමාණවත් සාකෂි ඉදිරිපත් වී නැති නිසා එම බැංකුවට වන්දි ගෙවන ලෙසට ලබාදී ඇති තීන්දුව සාධාරණ තීන්දුවක් නොවන බවත් පුවත්පතකට වෙනත් මාර්ග ඔස්සේ ප්‍රවෘත්ති ලබාගැනීමේ හැකියාව පවතින බවත් අභියාචනාධිකරණය එම තීන්දුව මගින් පෙන්වාදී හම්බන්තොට දිසා අධිකරණය ලබා දී තිබූ නඩු තීන්දුව බලරහිත කර ඇත.

මහජන බැංකුව වෙනුවෙන් නීතිඥ චමත් ප්‍රනාන්දු, නීතිඥ මිලින්ද මුණිදාස යන අය සමග ජනාධිපති නීතිඥ කුෂාන්ද අල්විස් පෙනී සිට ඇති අතර නීතිඥ මෙරාන් කරිම්, විස්වාන් ඉක්බාල් සමග ජනාධිපති නීතිඥ පයිස් මුස්තාපා ගාමිණී ෆොන්සේකාගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිට තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සඳ මත නිවාස ඉදිකිරීමේ සැලැස්මක් . . .

Fri Oct 20 , 2023
ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා ආයතනය 2040 වසර වන විට සඳ මත නිවාස ඉදි කිරීමට සැලසුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වන විට චන්ද්‍ර පෘෂ්ඨය මත ගගනගාමීන් පැය 75 කට වඩා වැඩි කාලයක් ගත කරන අතර නාසා ආයතනය පවසන්නේ එම කාලය තවත් වැඩි කිරීම සම්බන්ධයෙන් පර්යේෂණ සිදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x