හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත වෙයි . . .

90 දශකයේදී ලොව පුරා ප්‍රේක්ෂකයින් අතර ජනාදරයට පත් වූ ‘ෆ්‍රෙන්ඩ්ස්හි’ චැන්ඩ්ලර් බිං චරිතයට පණ පෙවූ ජනප්‍රිය හොලිවුඩ් නළු මැතිව් පෙරී අභාවප්‍රාප්ත වී තිබේ.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ, මිය යන විට ඔහු 54 වන වියේ පසු වූ බව ය.

ඔහු ලොස් ඇන්ජලීස්හි පිහිටි සිය නිවසේදී මිය ගොස් සිටියදී හමු වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග අමෙරිකානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

නිව් යෝර්ක් නගරයේ ජීවත් වන තරුණ මිතුරන් හය දෙනෙකුගේ දෛවය ගැන කියැවෙන ජනප්‍රිය ප්‍රහසන රූපවාහිනී කතා මාලාවක් වූ ‘ෆ්‍රෙන්ඩ්ස්’ කතා මාලාව 1994 සිට 2004 දක්වා විකාශය විය.

එහි අවසන් කොටස එක්සත් ජනපදයේ මිලියන 52.5ක ප්‍රේක්ෂක පිරිසක් විසින් නරඹන ලද අතර එය 2000 ගණන්වල වැඩි ම පිරිසක් නරඹන ලද රූපවාහිනී කතාංගය බවට පත් වූ බව එම වාර්තාවල දැක්වේ.

පෙරී මියගිය බව මුලින් ම වාර්තා කළ ලොස් ඇන්ජලීස් ටයිම්ස් සහ TMZ සඳහන් කළේ, පෙරී සිය නිවසේ උණුසුම් ජලයෙන් පිරුණු කුඩා තටාකයක සිහිසුන්ව සිටියදී හමුව ඇති බව ය.

ෆ්‍රෙන්ඩ්ස් කතා මාලාව නිෂ්පාදනය කළ වෝනර් බ්‍රදර්ස් ටීවී පැවසුවේ, “අපගේ ආදරණීය මිතුරා වන මැතිව් පෙරීගේ අභාවයෙන් අපි මහත් සේ කම්පනයට පත්ව සිටිමු” යනුවෙනි.

1969 වසරේදී මැසචුසෙට්ස්හි උපත ලද පෙරී කැනඩාවේ ඔටාවාහි හැදී වැඩුණු අතර කැනේඩියානු අගමැති බවට පත් වූ ජස්ටින් ටෲඩෝ සමග ප්‍රාථමික ශ්‍රේණියේදී අධ්‍යාපනය ලැබූ අයෙකු විය.

නව යොවුන් වියේදී ලොස් ඇන්ජලීස් වෙත පැමිණෙන පෙරී, ‘බෝයිස් විල් බී බෝයිස්හි’ චෑස් රසල් ලෙස රඟපෑ අතර ‘ග්‍රෝවින්ග් පේන්ස්’ ඇතුළු ප්‍රහසන රූපවාහිනී කතා මාලාවලට රංගනයෙන් දායක විය.

නමුත් ඔහු ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයක් දිනූ රංගන ශිල්පියෙකු බවට පත් වූයේ, ‘ෆ්‍රෙන්ඩ්ස්’ කතා මාලාව හරහා ය.

එහි රංගනය වෙනුවෙන් ඔහු 2002 වසරේදී ප්‍රයිම්ටයිම් එමී සම්මානය සඳහා ද නිර්දේශ විය.

වේදනා නාශක ඖෂධ සහ මත්පැන්වලට ඇබ්බැහි වීම සමග පෙරී වසර ගණනාවක් සටන් කළ අතර අවස්ථා කිහිපයකදී පුනරුත්ථාපන සායනවලට පවා සහභාගි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පෙරී, ‘ෆූල්ස් රශ් ඉන්’, ‘ඕල්මෝස්ට් හීරෝස්’ සහ ‘ද හෝල් නයින් යාඩ්ස්’ ඇතුළු චිත්‍රපට කිහිපයක ද පෙනී සිටියේය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බොරතෙල් මිල ඉහලට, ඩීසල් හිගයක් . . .

Mon Oct 30 , 2023
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ. ගාසා තීරයේ ක්‍රියාත්මක යුද ගැටුම්  තවදුරටත් වර්ධනය වීම ඊට බලපා තිබේ. මෙම තත්ත්වය මත මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි ඩීසල් හිගයක් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ හදිසි හමුවක්ද කැඳවීමට පියවර ගෙන තිබේ. එළැඹෙන ශීත සෘතුවේදී යුරෝපයට බලශක්තිය උත්පාදනයට ඩීසල් අත්‍යවශ්‍ය වී ඇත. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x