ගාසා තීරයෙන් පිටවී යන්න ශ්‍රී ලාංකිකයන්ට අවසර ලැබෙයි . . .

ඊශ්‍රායලය විසින් දරුනු ප්‍රහාර එල්ල කරන ගාසා තීරයේ සිටි ශ්‍රී ලාංකිකයන්ට ඉවත්යාමේ අවස්ථාව ඊශ්‍රායලය ලබා දී ඇති බව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර තිබේ.

එහි වැඩිදුරටත් පල කළ සවිස්තර සම්පූර්ණයෙන් උපුටාගෙන පහත දැක්වේ.

රෆා දේශසීමාව: ගාසා තීරයේ රැඳී සිටින ලාංකිකයින්ට ඉන් පිටව යෑමට අවසර හිමිවෙයි

ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට ඉන් ඉවත්වීමට ඊශ්‍රායල රජය අද (නොවැ. 02) අවසර ලබාදුන් බව, ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර බීබීසි සිංහල සේවයට තහවුරු කළේ ය.

ඒ අනුව ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට ඊජිප්තු දේශසීමාවේ පිහිටි රෆා මාරුව හරහා ඉවත්වීමට අවශ්‍ය අවසරය හිමිවේ.

මේ වනවිට පලස්තීන ජාතිකයින් සමග විවාහවූ ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනෙකු ගාසා තීරයේ සිටින අතර, ඔවුන්ගේ පවුල්වල මුළු සාමාජිකයින් සංඛ්‍යාව 17ක් වන බව රමල්ලාහි වෙසෙන ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත නාවලගේ බෙනට් කුරේ බීබීසි සිංහල සේවයට පැවසුවේ ය.

‘බෝඩර් එකට පැය 10ක ගමනක් තියෙනවා’
මේ අතර පලස්තීනයේ ගාසා තීරයේ රැඳී සිටින ශ්‍රී ලාංකික කාන්තාවක් වූ ෆාතිමා රිකාසා, ඇය නවාතැන් ගෙන සිටින ස්ථානයේ සිට ඊජීප්තුවේ රෆා දේශසීමා මාරුවට ළඟාවීම සඳහා පැය 10ක කාලයක් ගතවන බව බීබීසි සිංහල සේවයට පැවසුවා ය.

“අපි දැන් ඉන්න තැන ඉඳලා පැය 10ක කාලයක් යනවා රෆා බෝඩර් එකට. මම ළමයි හතරදෙනා එක්ක එතනට යනවා.”

“මට අපේ තානාපති කාර්යාලයේ නිලධාරීන් කතා කළා. රෆා බෝඩර් එකට ගියාම සම්බන්ධ වෙන්න ඕන රතු කුරුසේ නිලධාරීයෙක්ගේ නම්බර් එක දුන්නා,” ඇය පැවසීය.

ස්වාමිපුරුෂයාට ඇය සමග පැමිණීමට අවස්ථාවක් ලැබුණ ද ඔහුට ගාසා තීරයේ රැඳී සිටීමට සිදුවූ බව ෆාතිමා රිකාසා පැවසීය.

“මගේ මහත්තයාගේ අම්මා සහ සහෝදරියන් දෙදෙනා ඉන්නේ අසනීපයෙන්. ඒ නිසා ඔහු තීරණය කළා පවුලේ අයව බලාගෙන එහෙම ඉන්න. ඔහු මට කිව්වා මෙහෙන් පිටවෙලා යන්න ඉඩක් ලැබුණු ගමන් ඔහු පැමිණෙන්නම් කියලා,” ඇය පැවසීය.

‘තවත් පිරිසක් සිරවෙලා ඉන්නවා’
මේ අතර ගාසා තිරයේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකික පවුලකට ඔවුන් සිටින ස්ථානයෙන් පිටව යෑමට නොහැකිව සිටිනා බව ද ෆාතිමා රිකාසා පැවසුවා ය.

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් සහ ඇගේ පවුලේ සාමාජිකයින් රෆා දේශසීමාව හරහා ඊජීප්තුවට ඇතුළුවීමට නියමිත බව ද ඇය සඳහන් කළා ය.

“සුලේයා කියලා කෑගල්ල ප්‍රදේශයේ ගෙවල් තියෙන ලංකාවේ කෙනෙක් එයාගේ දරුවෝ පස්දෙනත් එක්ක බෝඩර් එකට එනවා කියලා තියෙනවා. එයාගේ බබාලා පස්දෙනෙක් ඉන්නවා.”

“තවත් ලංකාවේ කෙනෙක් ඉන්නවා, ඒ කෙනා ඉන්න පැත්තට ඊයේ රෑ දිගට බෝම්බ දාලා තියෙනවා. මේ නිසා එයාලා බයෙන් ඉන්නේ එළියට එන්නවත්. එයාට ඉන්නේ අවුරුදු දෙකක සහ හයක දරුවන් දෙන්නෙක්.”

“මම එයාට කතා කළා. මම කිව්වා ලැබෙන චාන්ස් එකෙන් මෙහෙන් යන්න ඕන නිසා ඇම්බියුලන්ස් එකක හරි නැගලා එන්න කියලා. එයාලා බයේ ඉන්නේ ආපහු බෝම්බ දායි කියලා,” ඇය පැවසුවා ය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගෑස් මිල හදිසියේම ඉහළ දමයි . . .

Fri Nov 3 , 2023
හෙට (04) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 75කින් ඉහළ දමා තිබේ. ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙම මිල ඉහළදැමීම සිදුකරන බවයි.  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x