මුදල් විශුද්ධිකරණය කළ බවට චෝදනා කරමින් ගොනු කළ නඩුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සියළු විත්තිකරුවන් නිදොස් කර නිදහස් කර තිබේ.
කොළඹ මහාධිකරණය එම නියෝගය කළේ සාක්ෂි කැඳවීමකින් තොරවය.
පැමිණිල්ලේ සාක්ෂි අධිකරණයට පිළිගත නොහැකි සහ විශ්වාසයෙන් තොර බවත්, අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහි චෝදනා සනාථ කළ හැකි සාක්ෂි පමණක් බවත් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ පෙන්වාදුන්නේය.
මෙම නඩුව ගොනු කර තිබෙන්නේ, නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස අයථා ලෙස ඉපයූ රුපියල් මිලියන 30 ක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීමෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින්ය.
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මෙම නඩුව ගොනුකර තිබුණි.
එමෙන්ම, විනිසුරුවරයා නියෝග කළේ එම නඩුවේ දෙවන සහ සිව්වන විත්තිකරුවන්ට පනවා ඇති විදෙස් ගමන් තහනම වහාම ඉවත් කරන ලෙස ය.
අධිකරණය මග හැර සිටි දෙවන විත්තිකරු ප්‍රභාත් කරුණාජීව අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ විවෘත වරෙන්තු ආපසු කැඳවීමට ද විනිසුරුවරයා නියෝග කර තිබේ.
- dinamina