ව්‍යාජ ලේඛන හැදූ සමාගමේ හිමිකරු රිමාන්ඩ් . . .

සැකකාර සමාගමේ හිමිකරු වන 54 හැවිරිදි ජානක ප්‍රනාන්දු කොළඹ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව සිදු කර ඇති බව කියන මෙම ගනුදෙනුවට අදාළ වගකිවයුතු සියලු නිලධාරින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

එමෙන්ම ඊට අදාළ සියලු ලේඛන ඒවා භාරයේ සිටින නිලධාරියාගේ තරාතිරම නොබලා රහස් පොලිසිය භාරයට ගන්නා ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්නා ලෙසත් ඉදිරි දින නීතිපති නියෝජනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය.

භාවිතයෙන් ඉවත් කර ඇති මුද්‍රා තබා ඇති ප්‍රශ්නගත එන්නත් තොගය විද්‍යාගාරයකට යොමු කරන තෙක් නියමිත ප්‍රමිතියෙන් සහ පරිසර තත්ත්ව යටතේ ගබඩා කර තබන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට අවසර ලබා දුන් මහේස්ත්‍රාත්වරිය එලෙස කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළාය.

එමෙන්ම සීදුව පිහිටි එම එන්නත් නිෂ්පාදනය කරන සැකකරුට අයත් වෛද්‍ය සැපයීම් අංශය විසින් මුද්‍රා තබන ලද නිෂ්පාදනාගාරය මුද්‍රා තැබීමට හේතු‍, එහිදී අනාවරණය වූ කරුණු ඇතුළු කාරණා ඇතුළත් වාර්තාවක් අධිකරණයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස වෛද්‍ය සැපයීම් අංශයට නියෝග කෙරිණි.

ඉන්දියාවෙන් ගෙන්වන බවට ටෙන්ඩරය යොමුකර මෙම එන්නත් තොගය මෙරට නිෂ්පාදනය කර ඇති බවත් ඒවා සම්බන්ධයෙන් තත්ත්ව පරීක්ෂාවක් හෝ සිදු නොකර වෛද්‍ය සැපයීම් අංශය විසින් වර්ණය, බෝතලයේ ස්වභාවය ඇතුළු මූලික පරීක්ෂාවකින් පමණක් එන්නත් තොගය භාරගෙන ඇති බවට විමර්ශන අනාවරණය කළ බව කී රහස් පොලිසිය 2022 සැප්තැම්බර් මස 26 වැනිදා කැබිනට් අනුමැතියකින් මෙම එන්නත් ගෙන්වීමට අනුමැතිය දී ඇති බවත් කීවේය.

“රුපියල් කෝටි 4 ආසන්න මුදලක් එන්නත් සඳහා ගෙවා තිබෙනවා. එම එන්නත් ස්නායු ආබාධ වලින් පෙළෙන රෝගීන් සඳහා භාවිත කිරීමට යොදා ගෙන තිබෙනවා” යැයි කී රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කරන විටත් සියයට 80ක් පමණ එන්නත් භාවිත කර ඇති බවත් කියා සිටියේය.

විදේශ රටකින් ගෙන්වීමකින් තොරව සැකකරු විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කර ඇතිනම් ප්‍රශ්නගත තත්ත්වයක් මතුවිය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීය.

එමෙන්ම සැකකරුට අයත් අයිසොලේටඩ් බයෝ ෆාමා ලිමිටඩ් ආයතනයේ ගිණුම් වාර්තා සහ වෛද්‍ය සැපයීම් අංශයේ ගිණුම් වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමට අවසර ලැබිණි.

සැකකරු වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ චාන්දනී දයාරත්න මහත්මිය අධිකරණයට කියා සිටියේ සෞඛ්‍ය ඇමැතිවරයා ලේකම්වරයා ඇතුළු නිලධාරින්ගේ උපදෙස් මත සැකකරු කටයුතු කර ඇති බවය. තෝරු මෝරු පොකිරිස්සන් සිටියදී හාල්මැස්සන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදු කරන බවත් කී ඒ මහත්මිය තම සේවාදායකයා සුදුසු ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා සිටියාය.

ඇප ලබා දීමට පිළිගත හැකි කරුණු ඉදිරිපත් නොවන බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් රජයේ නිලධාරින් වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය විගණනයට යටත්ව කටයුතු නොකරමින් ක්‍රියා කළ සියලු පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

“මෙම ඖෂධය ප්‍රමිතියකින් තොරව සකස් කර රජයේ රෝහල්වලට බෙදා හැරලා. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ 2022 වසරේ අමෙරිකානු ඩොලර් මිලියන 222ක් වෙන් කර තිබී ඇති අතර, ඉන් ඩොලර් මිලියන 115ක් ඖෂධ ගෙන්වීමට වෙන් කර තිබෙනවා. මෙම ක්‍රියාවලියේ පැවැති මන්දගාමී ස්වරූපය හේතුවෙන් මහා භාණ්ඩාගාරයෙන් නිසි ක්‍රමවේදයක් යටතේ ඖෂධ ගෙන්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. ඊට කැබිනට් අනුමැතිය 2022.09.26 දින ලැබී තිබෙනවා. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඖෂධ වර්ග 182ක් ගෙන්වීමට අනුමැතිය ලබා දී තිබෙන අතර එම ගොනුවේ 92 වන ඖෂධය ලෙස ප්‍රශ්නගත ඖෂධය නම් කර තිබෙනවා. මාස තුනක කාලයක් සඳහා එන්නත් කුප්පි 22500ක් අවශ්‍ය බවත් එම ඖෂධය ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් හදිසි ප්‍රසම්පාදන කමිටුවක් පත් කර ටෙන්ඩර් කැඳවා 2022.09.27 වෙබ් අඩවි කිහිපයක් ඔස්සේ විමසා බලා සමාගම් තුනකින් මිල ගණන් කැඳවා තිබෙනවා. එම සමාගම් තුන ඩොලර් 154ක්, 130ක්, 352ක් ලෙස මිල ගණන් යොමු කර තිබෙන අතර මෙම ප්‍රශ්නගත එන්නත් සැපයූ සමාගමේ හිමිකරු ඉන්දීය සමාගමක සන්නාමයක් යටතේ අයිසොලේටඩ් බයෝ ෆාමා ලිමිටඩ් යටතේ 2023.01.04 වනදා එන්තත් ගෙන්වීමට අවසර ඉල්ලා තිබෙනවා“ යැයි රහස් පොලිසිය බී වාර්තාවක් යොමු කරමින් කියා සිටියේය.

තවදුරටත් කරුණු දැක්වූ රහස් පොලිසිය මෙසේද කීවේය.

“සැපයුම්කරු විසින් එම භාණ්ඩ අවස්ථා 14දී වෛද්‍ය සැපයීම් අංශයට භාර දී තිබෙනවා. එම එන්නත් 3985ක් භාර දී තිබෙන අතර තුන්කෝටි හැටතුන් ලක්ෂ අසූ තුන්දහසක මුදලක් සැකකරුට ගෙවීමක් සිදු කර තිබෙනවා. ඔහු යොමු කරන භාණ්ඩ සඳහා රුපියල් කෝටි 4ක මුදලකට චෙක්පතක් ඔහුට ලබා දී තිබෙන බව විමර්ශන අනාවරණය කර තිබෙනවා. සිදු වූ ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරනු ලබන අතර ලියාපදිංචි කිරීමේ ලේඛනය සම්බන්ධයෙන් ගැටලු මතු වූ අතර ඖෂධ නියාමන අධිකාරිය WOR ලේඛනයක් ලබා දී නැහැ. එම ලේඛනය ඖෂධ නියාමන අධිකාරිය විසින් රේගුවට ලබා දිය යුතු වුවත් එලෙස ලබා දීලත් නැහැ. එම භාණ්ඩ රේගුවෙන් ගෙන්වා නැති අතර එම භාණ්ඩ තොගයක් රේගුවට ලැබිලත් නැහැ. ඖෂධ නියාමන අධිකාරියට WOR ලේඛනයේ ඡායාස්ත පිටපතක් පමණයි ලබා දී තිබෙන්නේ. සැකකරු ඖෂධ නියාමන පනත ලංකා දණ්ඩ නිති සංග්‍රහය යටතේ ගැනෙන වරදවල් කර ඇති බවත් පොදු දේපළ පනත යටතේ රුපියල් 25000ට වැඩි මුදලක් වංචා කර ඇති නිසා සහකාර පොලිස් අධිකාරිවරයාගේ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් කියා සිටි රහස් පොලිසිය ඒ නිසා සැකකරු අත්අඩංගුවට ගත්තා යැයි අධිකරණයට දන්වා සිටියේය.

අයිසොලේටඩ් බයෝ ෆාමා ලිමිටඩ් ආයතනයේ ගිණුම් වාර්තා ලබා දෙන ලෙස නියෝග නිකුත් කරන ලෙසත් ප්‍රශ්නගත ඖෂධ සමාගමේ ඖෂධ නියාමන අධිකාරිය විසින් මුද්‍රා තබා ඇති එන්නත් සුදුසු විද්‍යාගාරයක පරීක්ෂා කරන ලෙසත් සුදුසු තත්ත්ව සහ පරිසරයක් යටතේ ගබඩා කර තබන ලෙස ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාට නියෝගයක් නිකුත් කරන ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම එන්නත් ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කර තිබේනම් ප්‍රශ්නගත තත්ත්වයක් උදාවිය හැකි යැයි ද රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මහේස්ත්‍රාත්වරිය-

ටෙන්ඩර් පිළිගැනීමක් කර තිබෙනවාද? ඉන්දියාවෙන් ගෙන්වන බවට සඳහන් කර තිබෙනවාද?

රහස් පොලිසිය

ඉන්දියාවෙන් අමුද්‍රව්‍ය ගෙන්වා මෙරට නිෂ්පාදනය කර ඉන්දීය සන්නාමය යටතේ නිෂ්පාදනය කළ බව සැකකරුගේ ප්‍රකාශයේ සඳහන් වෙනවා.

අල්ලස දූෂණයට හෝ නාස්තියට එරෙහි සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා

ක්ෂණික මිලදී ගැනීම් ඉතා මිල අධිකයි. සමාගමට ඉහළ ලාභයක් ඉපයිය හැකියි. පුද්ගලික අනන්‍යතාව වෙනස්. රාජ්‍ය ආයතන රුපියල් 100ටත් විගණනයට යටත් වෙනවා. මේ අය කිසිදු නීත්‍යනුකූල ක්‍රමවේදයක් අනුගමනය කර නැහැ. රාජ්‍ය ආයතනවලට පෞද්ගලික ආයතන මෙන් කටයුතු කළ නොහැකියි. කිසිදු අඩුපාඩුවක් විය නොහැකියි. දූෂණ ක්‍රියාවක් මෙහි තිබෙනවා. මිලදී ගන්න ඇණවුමට අනුමැතිය දෙන අය බබාලා නෙමෙයි. වෘත්තියක් ලෙස සිදු කරන සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු සියලු දෙනා මීට වගකියන්න ඕන.

මහේස්ත්‍රාත්වරිය

මේ කටයුතු කිරීමට ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අවශ්‍යයි. රාජ්‍ය නිලධාරින් එලෙස කටයුතු කර නැහැ.

රහස් පොලිසිය

වෛද්‍ය සැපයීම් අංශය ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරනවා.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාන්දනී දයාරත්න මහත්මිය

බාල ඖෂධ මෙරට භාවිත කිරීම සම්බන්ධයෙන් කනගාටු වෙනවා. තෝරු මෝරු ගැලවී හාල්මැස්සන් ඇල්ලීමට මාධ්‍යයෙන් ලොකු ඉඩක් ලබා දී තිබෙනවා.

මහේස්ත්‍රාත්වරිය

අදාළ ලේඛන අධිකරණයට ලබා දෙන්න.

නීතිඥ චාන්දනී දයාරත්න මහත්මිය

මගේ සේවාදායකයාගේ පාලනයෙන් තොරවයි කටයුතු සිදුව තිබෙන්නේ. අවුරුදු 20 කාලයක් සේවාව ලබා දුන් අයෙක්. පසුගිය අර්බුදකාරී අවස්ථාවල පවා ඔහු සිය සේවාව ලබා දී තිබෙනවා. අමාත්‍යවරයාගේ ලේකම්වරයාගේ ඇතුළු නිලධාරින්ගේ උපදෙස් අනුවයි ඔහු කටයුතු කර තිබෙන්නේ. පූර්ණ බලතල ඇතිව අමාත්‍යාංශයේ ලේකම් ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය එකතුවයි මේ එන්නත් රෝහල්වලට බෙදා තිබෙන්නේ. විශේෂ මණ්ඩලයක් මේ එන්නත් පරීක්ෂා කරනු ලැබුවා. මාගේ සේවාදායකයා කිසිදු බලපෑමක් සිදු කර නැහැ. කැඳවන ලද ටෙන්ඩරය පරිදි ඔහු කොන්දේසිවලට යටත්ව එන්නත් ගෙන්වා තිබෙනවා. ඔහු ඉහළට තොරතුරු හුවමාරු වන දාමයක අග්ගිස්සේ සිටි අයෙක්. නිවැරැදි පුද්ගලයෙක් බොරුවක් බවට පත්ව තිබෙනවා. ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ. රහස් පොලිසිය අමුද්‍රව්‍ය ගෙන්වීමට අදාළ ලිපිය ලබා දී නැහැ. එසේ හෙයින් සුදුසු ඇපයක් මත ඔහු මුදා හැරීමට අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කටයුතු කරාවි කියා ඉල්ලා සිටිනවා.

මහේස්ත්‍රාත්වරිය-

කවුද මුදල් ගෙවා තිබෙන්නේ?

රහස් පොලිසිය-

සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති ප්‍රසම්පාදන කමිටුවක් මඟින්. ක්‍රෙඩිට් ලයින් මුදල් ගෙවා නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුදලින් මුදල් ගෙවා තිබෙන්නේ.

මහේස්ත්‍රාත්වරිය-

එලෙස මුදල් ගෙවන්න හැකිද?

රහස් පොලිසිය-

මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් පවතිනවා. සැකකරුට ප්‍රකාශයක් ලබා දෙන්න එන්න කිවුවා. ආවේ නැහැ.

නීතිඥ චාන්දනී දයාරත්න මහත්මිය

ලිපිය ලැබුණේ ප්‍රමාද වෙලා. අවශ්‍ය ලේඛන ලබා දිය හැකියි.

මහේස්ත්‍රාත්වරිය-

ලේඛන ලබා දීමට සුදුසු තැන අධිකරණයයි. අධිකරණයට ඉදිරිපත් කරන්න.

රහස් පොලිසිය-

නිෂ්පාදන කළ අමුද්‍රව්‍ය සහ බෝතල් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.

හේස්ත්‍රාත්වරිය

සැපයුම්කරුවෙක්ට සුළු දෙයක් හෝ කරන්න බැහැ රාජ්‍ය ආයතනවල ක්‍රමවේදවලින් තොරව. අවශ්‍ය ලේඛනවල ඡායා පිටපත් අවශ්‍යයි. මේ සම්බන්ධයෙන් ස්වාධීන රාජ්‍ය නිලධාරියෙකුගේ මතයක් මෙම ක්‍රමවේදය සම්බන්ධයෙන් ලබා ගන්න. එම ප්‍රකාශයට අනුව මේ ක්‍රියාවලියේ ස්වරූපය හඳුනාගන්න වැරැදි කළ අයගෙන් මේ සම්බන්ධයෙන් මත විමසා වැඩක් වෙන්නේ නැහැ. ඒ අනුව සිදු කරන විමර්ශනවලින් ඵලක් නැහැ. මෙය සංකීර්ණ විමර්ශනයක්. නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගන්න. මේ ලේඛන විගණනයට යටත්ද විමසා බලන්න.

රහස් පොලිසිය විගණනය සිදු කර තිබෙනවා. මේ එන්නත් පරීක්ෂෘ කිරීමට නිසි ක්‍රමවේදයක් රසායනාගාරයක් නැති බවට උපදෙස් ලැබෙන්නේ. ඖෂධ මූලික පරීක්ෂාවකින් පසුව භාරගෙන තිබෙනවා. වර්ණය සහ බෝතලය පමණක් පරීක්ෂා කර තිබෙනවා. මේ එන්නත් ලබා දෙන්නේ ස්නායු ආබාධ සහිත පුද්ගලයන්ට.

අල්ලස දූෂණයට හෝ නාස්තියට එරෙහි සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා-

මාතර, කුරුණෑගල, නුවර යන රෝහල්වල වෛද්‍යවරුන් එන්නත්වල ප්‍රමිතිය සුදුසු නොවන බවට ලිඛිතව දන්වා තිබෙනවා. ප්‍රකාශ සටහන් කර ගත යුතුයි.

මහේස්ත්‍රාත්වරිය-

ස්වාධීන විමර්ශනයකින් තොරව රාජ්‍ය නිලධාරින් අනුගමනය කළ යුතු මුදල් පරිපාලන ක්‍රම අනුගමනය කර නැහැ. නෛතිකභාවය වලංගුභාවයට අදාළ ලේඛන නැහැ. ඡායා පිටපත් පමණයි තිබෙන්නේ. මේ සියලු කරුණු සම්බන්ධයෙන් පැහැදිලි විමර්ශනයක් සිදු කළ යුතුයි. එලෙස කටයුතු කර වගකිව යුතු සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න. රාජ්‍ය නිලධාරින් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගන්න. මෙම සිද්ධියට අදාළ සියලු ලේඛන අදම රහස් පොලිසිය භාරයට ගන්න. ලේඛන සහිත නිලධාරීන්ගේ තරාතිරම නොබලා ලේඛන භාරයට ගන්න.

සැකකරු වෙනුවෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහු ලබන 15 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

අල්ලස දූෂණයට හෝ නාස්තියට එරෙහි සංවිධානය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා, ජ්‍යෙෂ්ඨ නීතිඥ ධර්මතිලක ගමගේ මහතා, රවිදු ඉන්දතිස්ස, අචල බස්නායක, මයිකල් රොඩ්‍රිගෝ, කණිෂ්ක ඔරුවැල්ල යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණයට කරුණු දැක්විය. රහස් පොලිසිය වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා ඇතුළු නිලධාරින් අධිකරණයට කරුණු දැක්විය.

  • සුභාෂිණී සේනානායක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සුපිරි ජීප් මගඩියකට හිටපු ඇමති අත්අඩංගුවට . . .

Thu Nov 2 , 2023
මධ්‍යම පළාතේ හිටපු ඇමතිවරයෙකු විසින් නීති විරෝධී ලෙස විදේශ රටකින් මෙරටට ගෙන්වා එකලස් කර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට ලියාපදිංචි කර නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල සුපිරි මහල් සංකීර්ණයක සඟවනු ලැබ තිබූ සුපිරි ජීප් රියක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායෙන් සිය භාරයට ගෙන ඇත. රුපියල් කෝටියකට අධික මිලකට විකිණීමට සැලසුම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x