සුපිරි ජීප් මගඩියකට හිටපු ඇමති අත්අඩංගුවට . . .

මධ්‍යම පළාතේ හිටපු ඇමතිවරයෙකු විසින් නීති විරෝධී ලෙස විදේශ රටකින් මෙරටට ගෙන්වා එකලස් කර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කොට ලියාපදිංචි කර නාරාහේන්පිට මෝටර් රථ දෙපාර්තමේන්තුව අසල සුපිරි මහල් සංකීර්ණයක සඟවනු ලැබ තිබූ සුපිරි ජීප් රියක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායෙන් සිය භාරයට ගෙන ඇත.

රුපියල් කෝටියකට අධික මිලකට විකිණීමට සැලසුම් කර තිබූ මේ ජීප් රථය සමඟ එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ ප්‍රදේශයේ වාහන ආනයනය කර බෙදා හරින ප්‍රදර්ශනාගාරයක කළමනාකරුවෙකුගේ මූලිකත්වයෙන් ව්‍යාජ ලෙස සකසන ලද වාහනයක් විකිණීම සඳහා කොළඹ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක සඟවා ඇති බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරක් මත උපාය දූතයකු යොදා මෙම වැටලීම කර ඇත.

මිට්සුබිසි ඉන්ටර්කූලර් පෙජරෝ වර්ගයේ මෙම ජීප් රිය මිල දී ගැනීම සඳහා රහසිගත ගනුදෙනුකරුවන් ලෙස දුරකතනයෙන් සම්බන්ධ වී වාහනය සඟවා ඇති ස්ථානය හඳුනාගැනීමෙන් පසු පානදුර වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය විසින් මෙම වැටලීම කරනු ලැබ තිබේ.

වාහනය සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම ජීප් රිය මධ්‍යම පළාත නියෝජනය කරන හිටපු ඇමතිවරයෙකු විසින් විදේශ රටකින් මෙරටට ආනයනය කරනු ලැබ ඇති බව ද හෙළි වී ඇත. ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පසුව මෙම රථය මධ්‍යම පළාතේ වාහන ආනයනය කර බෙදා හරිනු ලබන ප්‍රදර්ශනාගාරයක හිමිකරුවෙකු නමින් වර්තමානයේ ලියාපදිංචි කර මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ නීතිඥවරියක සහ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහය ඇතිව විකිණීම සඳහා රහසිගතව කොළඹ ප්‍රදේශයේ සුපිරි මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව වාහන ලංකාවට ආනයනය කර විකුණන ප්‍රසිද්ධ වාහන ව්‍යාපාර ආයතනයක කළමනාකරුවෙකු වෙත භාර දී විකිණීමට සූදානම් කර තිබියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

වලාන මධ්‍යම දූෂණ මර්දන බළකායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහගේ අධීක්ෂණයෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීම යටතේ උපපොලිස් පරීක්ෂක සඳරුවන්, සැරයන් ජයලාල් (428), කොස්තාපල්වරුන් වන බාලසූරිය (77090), අමිල (87119), සංජීව (91287), ජයසේකර (93681), කාන්තා පොලිස් කොස්තාපල් රිහාරි (13090) හා පොලිස් රියැදුරු සැරයන් අජිත් (11919) යන නිලධාරීන් මෙම වැටලීම කළ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ජීප් රථය බොරැල්ල පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.

  • කීර්ති මෙන්ඩිස්, පොතුපිටිය – සුමිත් රණවක
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මත්පැන් සමාගම් 5ක බලපත්‍ර අහෝසියි . . .

Thu Nov 2 , 2023
බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගෙන තිබේ. මෙලෙස බලපත්‍ර අහෝසි කර ඇත්තේ ඩබ්ලිව් එම් මෙන්ඩිස්, රන්දෙණිගල සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු සමාගම් 5කය.    

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x