“දිනමිණ” පුවත්පතේ හිටපු විශේෂාංග කතුවරයකු සහ සම්බන්ධීකරණ කතුවරයකු වූ ප්‍රවීණ මාධ්‍යවේදී අමර පී. වීරසිංහ මහතා අද (03) අලුයම රාගම මහ රෝහලේ දී අභාවප්‍රාප්ත විය.
මිය යන විට 75 වැනි වියේ පසුවූ පසු වූ අමර පී වීරසිංහ මහතා පුවත්පත්කලාවට අත්පොත් තැබුවේ ජනදින පුවත්පතිනි.
කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන ය පිළිබඳ විශේෂ වේදී උපාධිධාරියකු වූ ඔහු සරසවි අධ්‍යාපනයෙන් අනතුරුව ලේක්හවුස් ආයතනයට එක් විය. විශේෂාංග කතුවරයා ලෙස දිනමිණ පුවත්පතේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් ඉටු කළ ඔහු දිනමිණ සියවස් සමරුව වෙනුවෙන් ප්‍රකාශයට පත් දිනමිණ අබිමන් කෘතිය ද සංස්කරණය කළේය.
කවියකු ලෙස නමක් දිනා සිටි අමර පීගේ කවියෙන් දිනමිණ මුල්පිටුව හැඩ වූ වාර ගණන ගිණිය නොහැකි තරම්ය.
පාඨශාලා ආචාරිනී ජී. ටී. ආර්.මල්ලිකා මහත්මියගේ දයාබර ස්වාමිපුරුෂයා වූ ඒ මහතා දියණියන් තිදෙනකුගේ පියෙකි.
අමර පී. වීරසිංහ මහතාගේ දේහය නොම්මර 303, මැයිගහ හන්දිය, බටුවත්ත රාගම නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු මේ මස 05 වනදා (ඉරිදා) සවස 5 ට බටුවත්ත සුසාන භූමියේදී සිදු කෙරේ.
- dinamina