ප්‍රසන්නගේ නම භාවිතා කරමින් ඉඩම් ගොඩකරලා . . .

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ නම භාවිතා කරමින් කලල්ගොඩ ප්‍රදේශයේ අනවසර ගොඩකිරීමක් සිදු කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

තලවතුගොඩ, කලල්ගොඩ ප්‍රදේශයේ අනවසර ඉඩම් ගොඩකිරීමක් සිදු වන බවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා වෙත ඊයේ (06) තොරතුරක් ලැබී තිබිණ. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙස සභාපතිවරයා විසින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වු මෙම ඒකකයේ වැටලීම් අංශය අදාල ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදු කෙරිණ.

එහිදි අනවසර ගොඩකිරීමක් සිදු කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් සමග ටිපර් යන්ත්‍රයක් සහ බැකෝ යන්ත්‍රයක්ද නිළධාරීන් භාරයට ගැනිණ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක් සහ මාතර ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය සදහන් කළේ සැකකරුවන් සහ අදාල වාහන වැඩිදුර විමර්ශන කටයුතු සදහා තලංගම පොලීසියට භාර දුන් බවයි. වැඩිදුර විමර්ශන කටයුතු පොලීසිය විසින් සිදු කරනු ලබන අතර සැකකරුවන් අද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතය.

2021 අංක 13 දරණ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සංශෝධිත පනත අනුව කිසියම් ප්‍රදේශයක අනවසර ගොඩකිරීමක් හෝ ඉදිකිරීමක් සිදු වනවා නම් අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකයට බලය තිබේ.

අනවසර ගොඩකිරීමක් යනු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අනුමැතියකින් තොරව සිදුකරනු ලබන ඕනෑම ගොඩකිරීමකි. ඒ අනුව පහත්බිම්/වගුරු බිම්/ගොහොරු හෝ මුඩුබිම් ගොඩකිරීම, ඇළ හරස් කර සිදු කරන ඉදිකිරීම් හෝ ගොඩකිරීම, ඇළ රක්ෂිත ගොඩකිරීම අනවසර ගොඩකිරීම් ගණයට අයත් වේ.

ඇමති ප්‍රසන්න රණතුංග  ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට උපදෙස් දී ඇත්තේ මෙවැනි අනවසර ඉඩම් ගොඩකිරීම් වලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා ලෙසයි. ඒ අනුව සංස්ථාවේ විශේෂ බලාත්මක කිරීමේ ඒකකය පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

කිසියම් ප්‍රදේශයක අනවසර ඉදිකිරීමක් හෝ ගොඩකිරීමක් සිදු වනවා නම් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ 0112-885357 හෝ 0112868002 යන දුරකතන අංක අමතා ඕනෑම අයෙකුට ඒ පිළිබදව දැනුම් දිය හැකිය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල වැඩ නෑ . . .

Tue Nov 7 , 2023
අද(07) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි. නුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බව ඔවුන් පවසයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිත බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x