නිර්මාණ කොල්ලයට නිසි විසඳුමක් ඕනෑ . . .

ලූෂන් බුලත්සිංහල මෙරට සුභාවිත ගීතය පෝෂණය කළ ප්‍රකට ගීත පද රචකයෙකි. විශිෂ්ට නාට්‍යවේදියෙකි. ලේඛකයෙකි. ප්‍රවීණ මාධ්‍යවේදියෙකි.

“අහසින් තරුවක් කඩා වැටෙනවා, දඟකාරි මං මද්දුම දෝණි, දී කිරි දී කිරි, දෙතොලෙ නොකී දේ, දම්පාටින් ලා සඳ බැස යනවා, කොළොම්තොට නැත මහලු වී, මඩේ ලගින තාරාවුන්, මිනි මිනි පොදේ ලා අඳුරේ, මුතු කුඩ ඉහලන මල් වරුසාවේ, පිපුණු මලේ රුව, රජ මැදුරක ඉපදී සිටියානම්, යස ඉසුරු පිරුණු තැනා” ආදිය ඔහුගේ ප්‍රකට ගීත කීපයක් පමණි.

 

නොනිවෙන ගිනි,  රතු හැට්ටකාරී, තාරාවෝ ඉගිලෙති, වෙස් මුහුණු ගලවන්න ඔහුගේ නාට්‍ය  නිර්මාණ අතර වඩාත් කැපී පෙනේ. පිපුණු මලේ රුව, කේමදාස න්‍යාය භාවිතය හා අරගලය, සිංහල ඔපෙරා දෙකක්, තාරාවෝ ඉගිලෙති. ලූෂන් බුලත්සිංහල ගේ සංස්කරණ ග්‍රන්ථ අතර වේ.

ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපාදනය ‘දවා හළු කළ නොහැක- මතක’ නමින් පසුගියදා එළිදැක්වුණි. ඒ සමුද්‍ර වෙත්තසිංහ ප්‍රකාශනයක් ලෙසිනි. මෙවර සංවාදය ලූෂන් බුලත්සිංහල  සමඟ පැවැත්වෙන්නේ එය නිමිති කොට ගෙනය.

• මෙරට සාහිත්‍ය – කලා කේෂ්ත්‍රවලට අමරණීය නිර්මාණ රැසක් දායාද කළ ඔබ ඔබේ ස්වයං ලිඛිත චරිතාපදානය රචනා කරන්නට කල්පනා කළේ ඇයි?

ඇත්තටම මට ඕනෑ වුණේ ‘ස්වයං ලිඛිත චරිතාපාදන’ නමැති සාම්ප්‍රදායික ආකෘතියේ කෘතියක් රචනා කිරීමට නොවෙයි. මගේ දේවල් ගැන ලියල ලොකුකම් පෙන්වන්න  මට අවශ්‍යතාවක් තිබුණේ නෑ. ඒත් මා නිර්මාණය වූ එක්තරා යුගයක් ගැනත් ඒ යුගයේ  අප මුහුණ දුන් අත්දැකීම් ගැනත් සඳහන් කරමින් ඒ ඇසුරෙන් කිසියම් ඓතිහාසික ලියැවිල්ලක් රචනා කරන්නයි අවශ්‍යවුණේ. ඒ සඳහා මා පෙළඹුණේ මෙවැන්නක් ලියන්නැයි බොහෝ දෙනා මගෙන් කළ ඉල්ලීම් නිසයි. එහෙම දෙයක් ලියන්න අදහස් කරගෙන සිටිද්දිත් මට නිතර සිහිපත්  වුණේ නාට්‍ය ක්ෂේත්‍රයේ මාගේ ගුරුවරයකු ලෙස සැලකෙන සුගතපාල  ද සිල්වා කී කතාවක්.

සුගතපාල ද සිල්වා නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩ කරන විට විවිධ රසකතා, ඓතිහාසික ප්‍රවෘත්ති, අත්දැකීම් අප සමඟ කියනවා. මම දවසක්  ඉල්ලීමක් කළා ‘සුගත් මේ අත්දැකීම් චරිතාපදානයක් හැටියට’ ලියන්න අනාගත පරපුරට දැනගන්න කියලා. එවිට සුගත් කිව්වෙ ‘යකෝ- මිනිහෙක් තමන්ගේ ජීවිත කතාව ලියන්නෙ ලියන්න වෙන දෙයක් ඇත්තෙම නැත්නම් විතරයි’ කියලා.

ඒ කතාව මගේ හිතට තදින් දැනිලා තිබුණා. ඒත් එක්තරා කාලයක අපේ ජීවන ප්‍රවෘත්තිවල වෘත්තිය ජීවිතය තුළ තියෙන වද වේදනා සාහසික බව එන්න එන්නම වැඩිවෙද්දී මෙවැන්නක් මගේ අතින් ලියැවුණා. ඒ අතින් බැලුවාම මේක පෞද්ගලික කතාවක් නොවෙයි. දයා ද අල්විස්, නිරංජලා සරෝජනී, මාලක දේවප්‍රිය වගෙ බොහෝ දෙනා මගෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් හැටියට මේ කෘතිය හඳුන්වන්න පුළුවන්. ඒත් මේ මගේ කතාව විතරක් නෙවෙයි එය මේ රටේ ඓතිහාසික අවස්ථා නිරූපණයක්.

• ඔබේ අදහසින් ද පැහැදිලි වන්නේ කිසියම් චරිතාපදාන කෘතියක් ඊට  අදාළ යුගයේ සමාජ දේශපාලන සංස්කෘතික හරස්කඩක් නිරූපණය වන බවයි. ඔබ නියෝජනය කරන්නේ නූතන කලාවේ ස්වර්ණමය යුගයක්. ඒ යුගය දෙස ඔබ ආපසු හැරී බලන්නේ කොහොමද?

සුගතපාල ද සිල්වා, බන්දුල ජයවර්ධන, වැනි ප්‍රවීණයන් ඇතුළුව අපි බොහෝ දෙනා එකල කලාවේ විවිධ ඉසව් පිළිබඳව සක්‍රීයව සාකච්ඡා කළා. මා ඒ සාකච්ඡාවලදී ද අවධාරණය කළේ ඒ ඒ නාට්‍යකරුවන් ඔවුන්ගේ කටයුතු පෞද්ගලික මට්ටමින් කරනවා මිස සාමූහික ක්‍රියාවලියක් සිදු නොවන බවය.  සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන, හෙන්රි ජයසේන, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ආදි සියලු දෙනා සාමුහිකව ජාතික ව්‍යුහයක් ගොඩනැඟීමට අපි යෝජනා කළා.

එය ජාතික අවශ්‍යතාවක්ව තිබුණා. ඒත් සුගතපාල ද සිල්වා ඒ අවස්ථාවෙත් මට කිව්වේ ‘යකෝ- නාට්‍යයක් කරගෙන පැත්තකට වෙලා හිටපං’ කියලා, සුගත්ගේ කතාවෙන් අවධාරණය වෙන කාරණය තමයි කවදාවත් මේ රටේ මිනිස්සුන්ට සාමුහිකව වැඩක් කරන්න බෑ කියන එක. ඉතිහාසය පරීක්ෂා කරළ බැලුවත් අපි එකමුතු ජාතියක් නොවෙයි. අද දේශපාලනය ඇතුළෙත් මේ කුලල් කා ගැනීම තමයි තියෙන්නෙ. සාහිත්‍ය -කලාකරුවන් පවා එක එක පක්ෂවලට බෙදිලා.

ශාස්ත්‍රීය වශයෙන් දියුණු රටවල් ගොඩනැඟුණෙ සාමූහිකව. අපි මහ ලොකුවට ජාතික නාට්‍ය උත්සවයක් පවත්වනවා. සුද්දො ගියාට පස්සේ ලයනල් වෙන්ට්ඩ් රඟහල හැරුණාම අපි එක රඟහලක් හදල තියෙනවද ජාතික වශයෙන්. ජාතික නාට්‍ය උළෙල පවත්වන්නෙ සිංහල, දෙමළ ආදි වශයෙන් – වෙන් වෙන්ව. එ්ක ජාතික නොවෙයි. මේ රටේ කලාකරුවෙක් ඉහළට යනවිට කකුලෙන් අදිනවා. මම මුහුණදීල තියනවා ඒවගේ අත්දැකීම්වලට. අපි ඓතිහාසික වශයෙන් පරිහානියට පත්වෙලා තියෙන්නෙ සාමුහික වෙන්න බැරිකම නිසයි.

• සාහිත්‍ය – කලා නිර්මාණවල කර්තෘභාග හිමිකම් සම්බන්ධයෙන් ඔබ ඇතුළු පිරිසක් පසුගිය කාලයේ හඬක් නැගුවා. ඒ සම්බන්ධයෙන් මේ රටේ කලාකරුවන්ට සාධාරණයක් ඉටුවී තිබෙනවාද?

නෑ. අපි මේ දක්වා ලියා ඇති ගීතවලට කර්තෘ භාග ලැබුණානම් අපට වෙන රැකියාවක් කරන්න අවශ්‍ය නැහැ. අපි වෙන රටක හිටියනම් ඒ මුදල ඇති අපට ජීවත්වෙන්න. මේ රටේ සිද්ධවෙන්නෙ එක් එක්කෙනා අනුන්ගෙ නිර්මාණ කොල්ල කෑමයි. ඇතැම් මාධ්‍ය ආයතන පවා කරන්නෙ  මේකයි. කර්තෘ  හිමිකම කියන්නෙ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානව අයිතිවාසිකමක්. ලංකාවෙ ලේඛකයන්ටවත් ඒ හිමිකම නිසි පරිදි  ලැබෙන්නෙ නෑ. ලැබෙනව නම් ලැබෙන්නෙ පෞද්ගලික හිතවත්කම් අනුවයි. නිත්‍යානුකූලභාවයක් නෑ.ඒ නිසා මේ සඳහා නිසි විසඳුමක් ඕනෑ.

ලලිත් ඇතුළත්මුදලි  බුද්ධිමය දේපළ කාර්යාලය ඇති කරන්නෙ යහපත් අරමුණින්. ඒත් මේ බුද්ධිමය දේපළ හිමිකම  ගැන වැඩි අවධානය යොමුවුණේ පේටන්ට්  බලපත්‍ර සම්බන්ධයෙන් පමණයි. ඒක නිර්මාණ රචනයටත් අදාළ බව පෙන්වා දුන්නේ නෑ. ඒත් ජිප්සීස් නායක සුනිල් පෙරේරා මේ තත්ත්වය එදා හඳුනාගෙන ලලිත් ඇතුළත්මුදලි දැනුවත් කොට තිබුණා.  ඇතුළත්මුදලි සුනිල් පෙරේරාට කියා තිබුණේ ‘කලාකරුවන් ඒකරාශි කොට ගෙන එන්න’ කියලයි, ඒත් ඒක කවදාවත් කරගන්න බැරි වුණා. අන්තිමටත් එතනදිත් ඔප්පු වුණේ අපේ රටේ සමාජයේ සාමූහික බැඳීමක් නැතිකම. ඒ සාමුහික බව නැති නිසා හැමදෙනාම සෑම ප්‍රශ්නයකදීම දුක් විඳිනවා.

• ගීතය, නාට්‍ය, ලේඛනය ඇතුළු ක්ෂේත්‍රවල අමරණීය මෙහෙවරක් කළ  ප්‍රවීණයන් බොහෝ දෙනෙක් අද නිහඬව හුදෙකලාව සිටින බවක් පෙනෙනවා. මේ තත්ත්වය නූතන සාහිත්‍ය – කලා ක්ෂේත්‍ර වෙත මොන අන්දමේ බලපෑමක් කරයිද?

දැනටත් ඒ බලපෑම සිදුවී තිබෙනවා. සිනමාවට අද සිදුවී ඇති දේ බලන්න. මේ රටේ කලා ක්ෂේත්‍රයක් විධියට සංවිධානාත්මකව ගොඩනැගුණු එකම වෘත්තිය සිනමාවයි. මේකට හොඳ ප්‍රාග්ධනයක් තිබුණා. සිනමා සමාගම් තිබුණා. ඒත් දේශපාලන අතපෙවීම්වල ප්‍රතිඵලයක් හැටියට අද ක්ෂේත්‍රයම කඩා වැටිල තියෙනවා. විජය චිත්‍රාගාරය ගිනි තැබුවා. සිනමාවේ විනාශය පටන්ගන්නෙ එතනින්. එ්ක යාපනයේ පුස්තකාලය ගිනි තැබීම හා සමානයි. ලංකාවේ කලාවට අනාගතයක් නෑ. රැවටීමක් තියෙන්නෙ. මේ රටේ දරු පරම්පරාව ගැන  කනගාටුයි. අනාගතයේ ආරක්ෂිත බවක් පෙනෙන්නට නැහැ.

• මේ තත්ත්වය ඇතිවීමට හේතු මොනවාද? අපට වැරැදුණේ කොතනද?

රටක කලාව ඕපපාතිකව ගොඩනැඟෙන්නෙ නෑ. ආධ්‍යාත්මික දියුණුව සහ අධ්‍යාපනය එක්කයි ඒක ගොඩනැඟෙන්න. ඒ දෙකම දියුණු වෙන්න නම් මිනිසුන් ආර්ථික අතින් යහපත් වෙන්න ඕනෑ. ඒත් මේ කිසිම දෙයක් ශක්තිමත් පදනමක් සහිතව අපේ රටේ ගොඩනැඟිලා තියෙනවද?

ඉතිහාසය පරීක්ෂා කරල බැලුවොත් අපි නිදහස ලබන්නට වසරකට පෙර 1947 දී පැවැත්වූ මැතිවරණයෙන් තමයි ඒ ඓතිහාසික වරද සිද්ධවුණේ. නිදහස් අධ්‍යාපනයේ පියා හැටියට සලකපු සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මහතා ඒ මැතිවරණයෙන් පරාජයට පත් කරන්නෙ අපේම මිනිස්සු. එයින් පරදින්නෙ අපේ රටේ ගොඩනැඟෙන්නට තිබුණු නිදහස් අධ්‍යාපනය. කන්නන්ගර මහතාගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හැටියට තිබුණේ සිංහල දෙමළ මුස්ලිම් දරුවන් එකම පාසලක ඉගෙනගත යුතු බවයි.  සම්බන්ධිකරණ භාෂාව ලෙස ඉංග්‍රීසිය අනිවාර්ය කිරීමේ සැලසුමක් එතුමාට තිබ්බා. අවුරුදු ගණනක් යනකොට ගමේ ළමයින් ඉංග්‍රීසි ඉගෙන ගෙන ඉදිරියට එයි කියලා අපේ ප්‍රභූ පැලැන්තිය බියට පත්වුණා. ඉංග්‍රීසිය ඔවුන්ට පමණක් අයිති වරමක් හැටියටයි ඔවුන් සැලකුවේ. කන්නන්ගර මහතා යෝජනා කළ අධ්‍යාපන ක්‍රමය වෙනුවට පහේ ශිෂ්‍යත්ව වගේ දේවල් දාලා භාෂාව, පන්තිය, ජාතිය වශයෙන් බෙදල අධ්‍යාපනය විනාශ කළා. අද තියෙන්නෙ අධ්‍යාපනය කඩා වැටුණු ටියුෂන් ඉගැන්වීම් ක්‍රමයක්. මේ තරම් ටියුෂන් පස්සේ දුවන අධ්‍යාපන ක්‍රමයක් අපි ලෝකෙ කොහෙවත් දැකලා නෑ.

ඉන්දියාවේ පවා අද ක්‍රියාත්මක වෙන්නේ කන්නන්ගර මහතා යෝජනා කළ අධ්‍යාපන ක්‍රමයකට සමාන ක්‍රමයක්. ඒ දරුවන් ප්‍රාන්ත භාෂා දන්නවා. කන්නන්ගර මහතා යෝජනා කළ අධ්‍යාපන ක්‍රමය ගොඩනැඟුණා නම් සිංහල, මුස්ලිම්, දෙමළ ගැටුම් අපේ රටේ ඇතිවෙන්නෙ නෑ. මේ අර්බුදකාරී තත්ත්වය ඇතිවීමට ජාතිය ආගම කරපින්නාගත් දේශපාලන සමාජය වගකිව යුතුය. මේ යථාර්ථය තේරුම් ගන්නා තුරු අපට අනාගතයක් නෑ. දැන් තත්ත්වය කුමක්ද? හරියට කන්න බොන්නවත් නැතුව සාහිත්‍ය – කලාව දියුණු වෙයිද?

  • ගාමිණි කන්දේපොළ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ෂාෆ්ටර්ගේ රක්ෂණ මුදල් ගෙවීම අත්හිටුවයි . . .

Thu Nov 9 , 2023
අභිරහස් ලෙස මියගිය දිනේෂ් ෂාෆ්ටර් වෙනුවෙන් රක්ෂණ මුදල් ගෙවීම සතියක කාලයක් දක්වා අත්හිටුවන ලෙස දන්වමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා රාජසූරිය අදාළ රක්ෂණ සමාගම්වල බලධාරීන්ට  නියෝග කර තිබේ. ෂාෆ්ටර්ගේ මරණය අපරාධයක් බවට තහවුරුවී ඇති බැවින් ඒ පිළිබඳව සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා සහාය දැක්වීමක් ලෙස සතියක කාලයක් යනතෙක් අදාළ අයට එම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x