බස් රථ සඳහා මාර්ග බලපත්‍ර ලබා දීමේදී අදාළ බස්රථවල GPS තාක්ෂණය පැවතීම අනිවාර්ය කරන ලෙසට බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව උපදෙස් ලබා දී තිබේ.
ඒ, එම කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩගේ ප්‍රධානත්වයෙන් නොවැ. 7 වන දින පාර්ලිමෙන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.
නව බස් නැවතුම්පළක් නිර්මාණය කිරීමේදී සහ ඉදිකිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු සාකච්ජා කිරීම සහ, 2022 වර්ෂය සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ථමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සලකා බැලීම බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී කර ඇත.
මෙහිදී ශ්‍රී ලංකාව තුළ මින් ඉදිරියට ඉදිකරනු ලබන බස්රථ නැවතුම්පළවල් සඳහා සැලසුම් කළ අවම නිර්ණායක, බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතියට ඉරිපත් කර තිබේ.
එහිදී එම එක් එක් නිර්ණායක පිළිබඳව වෙන් වෙන් වශයෙන් විමසා, සාකච්ජා කොට එම කාරක සභාවේ අනුමැතිය ලබා දී ඇත.
මෙම නිර්ණායක වඩා ත් ප්‍රයෝගිකව භාවිත කරමින් අදාළ බස්රථ නැවතුම්පළවල් ඉදිකිරීම ගැන අවසන් තීරණයක් ගැනීම සඳහා ඒ හා සම්බන්ධ සියලු ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් වෙත යොමු කිරීමට ද තීරණය වී තිබේ.
අදාළ නිර්ණායක මගියා කේන්ද්‍ර කර ගනිමින්, ඔවුන්ගේ පහසුව වෙනුවෙන් සැලසුම් කර ඇති බව නිලධාරීන් මෙහිදී පෙන්වා දී ඇත.
අබාධිත ප්‍රජාවට වඩා ත් පහසුවෙන් මෙම බස්රථ නැවතුම්පළවල් පරිහරණය කරමින්, අදාළ සේවා ලබා ගැනීම සඳහා ගැසට් මගින් යාවත්කාලීන වූ කරුණු මත එම නිර්ණායක ද යාවත්කාලීන කරන මෙන් සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
එම නිර්ණායක සැකසීමේදී ධාවන වාරය එළඹෙන තෙක් මග අවහිර වන සේ පාරවල් දෙපස ගාල් කර ඇති බස්රථ සඳහා සුදුසු ස්ථාන හඳුනා ගෙන එම ස්ථානවල බස්රථ ගාල් කිරීමට සැලසුම් සකස් කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
කාරක සභාව සඳහා පොලීසිය නියෝජනය කරමින් සහභාගී වී සිටි පොලිස් නිලධාරීන් බස් රථවල CCTV කැමරා පද්ධති පැවතීමේ වැදගත්කම අවධාරණය කර ඇති අතර ඒ අනුව ඉදිරියේදී CCTV කැමරා පද්ධති බස්රථ සඳහා සවිකිරීම අනිවාර්ය කිරීමට ද පියවර ගන්නා ලෙස සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.
අධිවේගී මාර්ගවල ඉදිකිරීමේ ප්‍රගතිය හා ආදායම් තත්ත්ව පිළිබඳව ද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා ඇත.
වර්තමානය වන විට සමස්තයක් ලෙස අධිවේගී මාර්ග අලාභ ලබන බව නිලධාරීන් කමිටුව හමුවේ අනාවරණය කර තිබේ.
ලාභ ලබන අධිවේගී මාර්ගවලින් අලාභ ලබන අධිවේගී මාර්ග නඩත්තු කටයුතු සිදු කිරීම සිදු කරන බව ද එම නිලධාරීන් සඳහන් කර ඇත.
එමෙන් ම, දැනට පවතින සියලු ම අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීම් සඳහා QR කේත (QR CODE) භාවිත කර වඩා ත් කාර්යක්ෂම ක්‍රමවේදයක් හැකි ඉක්මනින් සකස් කිරීමට ද කටයුතු කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.