පුතාණෝ භාගෙට ඉදි කළ සදා සොත්ති ගම . . .

වදරින් හයිට්ස් නවකතාවේ, කතා නායකයා හීත්ක්ලි‍‍ෆ් අතුරුදහන් වී, අවුරුදු ගණනාවකට පසු ධනවතකු ලෙස ආපසු පැමිණෙයි. අතුරුදහන් වූ පසු හෙතෙම ධනවතෙක් බවට පත්වීම දක්වා කොටස නවකතාවේ හිස්ය. එමිලි ජේන් බ්‍රොන්ටේ ලියන ලද්දේ එකම නවකතාවක් පමණය. ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය නැඟලා එන කාලය හෙයින් ලෝකය වටේ මේ පොත ද නැඟලා ගියේය. ඉංග්‍රීසි සාහිත්‍ය හදාරන හැම අයෙක්ම පාහේ වදරින් හයිට්ස් රසිකයෝ වූහ. එමිලි මියැදෙන්නේ 1848 අද වගේ දිනක හෙයින්, ඇයගේ නවකතාව මේ තීරුවට සිහිපත් විය. කතා නායකයාගේ ‘මැද හිස්’ සිද්ධිය සිහිපත් වූයේ ‘පුතාණෝ’ ඉදිකළ ගෙවල් සම්බන්ධ සිද්ධියක් ඊයේ වාර්තා වීම නිසාය. ‘පියාණෝ’ ගසන ලද හොරණෑව වූයේ ද ගෙවල්ය. ඒ පාරේම යමින් පුතාණෝ ද ගම්මාන ඉදිකරන්නට පටන් ගත්තේ, උඩරට පළාතේ සිටින දිග නම් වාසගම් ඇති අය සිහිපත් කරමිනි. ඒ ගමක නමක්, එක හුස්මට කියවීමේ තරගයක් වුවද තැබිය හැකිය.

‘තුට්ටු නෝ’ කියා බයිලාවක එන්නේ ආප්ප කෑම සඳහාය. ජනතාවට ‘තුට්ටු නෝ’ වන විට ඒ දුක ඔස්සේ ඡන්ද සඳහා අලුත් පාරක් ඇතැයි සමහර දේශපාලනඥයෝ කල්පනා කරති. සියල්ල නොමිලේ දෙනවා කියූ විට ජනතාවට සතුටුය. මේ රටේ හැම සංවර්ධන ව්‍යාපෘතියක්ම ණයකි. එහෙම ණයට අරගෙන ‘හිටින යමක්’ රටට කිරීම අවුලක් නොවේ. රටක් පණ ගසා එන්නේ එවිටය. අය වැය පරතරය පියවා ගැනීමට හැම මුදල් ඇමැති ළඟම තිබුණේ සල්ලි අච්චු ගැසීම සහ දේශීය හෝ විදේශීය ණය ගැනීම යන පියවර දෙකය. එහෙම තියෙද්දී හැම එකම ‘නිකං දෙනවා’ යැයි කියා ඡන්ද මල්ලට ඉව ඇල්ලීම කියන්නේ, රට අද පත්ව ඇති කතාන්දරයේ ශේෂ පත්‍රයය.

පුතාණෝ වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන 2,150ක අඩක් ඉදිකර ඇති නිවාස 39,815ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ජාතික නිවාස සංවර්ධන අධිකාරියට ගිය සතියේ උපදෙස් දී තිබුණි.

පුතාණෝ, නිවාස ඇමැතිකම දැරූ 2015-2019 කාලයේ, උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කළේය. අත්තිවාරමක් දමා බිත්ති නැංවූ විට වැඩේ නොදන්නා එකාට පෙනී යන්නේ තව ඇත්තේ වහලය ගැසීමට පමණක් බවය. ගෙදරක ඇත්ත වැඩ කොටස පටන් ගන්නේ එතැන් සිටය.

මේ රටේ ජනතාවගෙන් සියයට අනූවක් පදිංචිව ඉන්නේ භාගයට හදන ලද නිවෙස්වලය. වයරින් වැඩ ටික භාගයට නිමකර පයිප්පයක් දෙකක් දමාගෙන ජනෙල් උළුවහු තබා ගත් වන, රෑට ඇවිත් ඒ ගෙදර නිදා ගත හැකිය. එහෙම පදිංචි වී, ලැබෙන පඩියෙන් මාසයක් ගානේ කොටසක් වෙන් කරගෙන ගෙදර වැඩ ටික කොහොම හරි ඉවර කරගන්නවා කියන එක, පහළ මධ්‍යම පාන්තිකයාගේ සිට දුගියා දක්වා වන සිහිනයය. අවුරුද්දක් දෙකක් ගත වන්නේය. මෙලෝ දෙයක් කර ගන්නට බැරිය. අතට කීයක් හරි එනවා කියන්නේ එය වියදම් කිරීම සඳහා ප්‍රශ්න පෙරහැරේ එනවා යන්නය. බෝනස් ආදී දේ හෝ ‘වල් වාසි’ මේ කාලයේ කඩාගෙන වැටෙන්නේ නැති හෙයින් මාසය සඳහා රෝල ගසාගෙන යෑම ද අමාරුය. ඒ අස්සේ නව වසර එයි. පාසල් වාරය නිමවා අලුත් ශ්‍රේණියට දරුවෝ යති. රෝල දවස් දහයෙන් ඉවරය. ඉතිරි දවස් විස්ස ගෙවනා හැටි ‘සර්කස්’ එකක් මෙන්ය. කැටේ කඩා මාරු සල්ලි කීයක් හෝ අරගෙන වැඩට එන එකා, ගෙදර යා යුත්තේ හෙට වැඩට එන්න ද සල්ලි හොයාගෙනය. උදේට පරිප්පු සමඟ පාන් කාලක් කෑමට අඩුම වියදම රුපියල් එකසිය පනහකි. හැන්දෑවට ගෙදරින් එන, කෝල් එක තරම් බියක් මේ කාලයේදී ඔෆිස් එකේ සිටින මිනිසෙකුට නැත. ලොකු ලූනු ඉවරයි කියා කිවුවොත් ග්‍රෑම් දෙසිය පණහකට වියදම රුපියල් 250කි. රතු ලූනු දැන් දකින්නේ යූටියුබ් නාළිකාවක ‘උයන පිහන’ වැඩසටහනක පමණය. ඒවා ගෙදරට අමුත්තෙක් එනවා සේ විරල පැමිණීමකි. ඔහොම දවස ගෙවනා අපට, ‘හදලා ඉවර වුණ ගෙයක්’ කියන්නේ සිහින මාළිගාවකි. කුලියට ඉන්නා පවුල් ගැන කතා කළොත් තවත් වැඩේ ‘දෝදුය’.

ඔය අලකලංචි ‘මාර්කට්’ කර ගත්තා කියන්නේ, ගොඩය. තම හෙන්ච්මන්ලා ලවා, දුප්පතාගේ හිතවතා ආදී කතා ටිකක් ද ප්‍රචාරය කරගෙන, ඇටන්ඩන්ට් කිට් එකක් ද ගසාගෙන එහෙට මෙහෙට ගොස් කතාවක් දෙකක් පවත්වා, පුංචි වීරයා බවට රැඟිය හැකිය. ඒවා කල් අල්ලන සොලූෂන් නොවේ. සිහින රාජ්‍යයයේ රැඟිය හැකි වේදිකාය.

උදාගම්මාන වැඩ සටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදාගම්මාන කිහිපයක් සඳහා බෙදා දී, බෝඩ් එක හොඳට ගසාගෙන, තණමල්විල ගමක් විවෘත කරයි නම්, වැල්වැටිතුරෙයි ද පෝස්ටර් අලවා මේ රංගන කරළියට එන්නේය. ඔය නැටුම අහවර වන්නේ පුතාණෝට ඇමැතිකම නැති වූ විටය. අරික්කාලක් පමණ ඉදිකළ මේ ගෙවල් සඳහා ඊට පස්සේ වග කියන්නේ ඊළඟට පත්වෙන නිවාස ඇමැතිවරයාය. ප්‍රසන්න රණතුංග දැන් මුහුණ දෙන්නේ ඒ ප්‍රශ්නයටය. අනුප්‍රාප්තිකයෙකුට ඇති ලොකුම හෙණය, කලින් සිටි එකාගේ ‘කොටය’ ඇදීමය. අනික මේවා රැවටිලිය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ, පුතාණෝ, වැඩ අවසන් නොකර අතහැර දමා තිබූ උදාගම්මාන ගම්මාන අටක නිවාස 2,795ක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කළේය. දැන් ඉතිරි ටික හමාර කර ගැනීම සඳහා නාගරික සංවර්ධන අමාත්‍යාංශය දත කෑ යුත්තේය. ඒවා එහෙමය. ඒ වුණාට උදේ වරුවට පාර්ලිමේන්තුවේ දෙන ලොරි ටෝක් නම් ඉවරයක් නැත. ගමක් හැදීමට බැරි තෙමේ ඉල්ලන්නේ රටක් හදන්නය. ඇමැති ප්‍රසන්න රණතුංග වෙහෙසෙන්නේ ‘කයිවාරු තෙමේ’ භාගෙට හදා, විවෘත කළ ගෙවල් ටික හරියට හදා දෙන්නය.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ආලෝකය ඡායාරූප ගත කළ හැකි කැමරාවක් . . .

Tue Dec 19 , 2023
ආලෝකය ගමන් කරන අයුරු ඡායාරූප ගත කළ හැකි අපූරු කැමරාවක් එම්.අයි.ටී විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ලොවට හඳුන්වා දී තිබේ. සාමාන්‍ය වීඩියෝ කැමරාවකින් ග්‍රහණය කළ හැක්කේ තත්පරයකට රූපරාමු 24ක් වුවත් මෙම කැමරාවට තත්පරයකට රූපරාමු ට්‍රිලියනයක් ග්‍රහණය කර ගත හැකි බව පර්යේෂණ කණ්ඩායම ප්‍රකාශ කළේය. මෙම තාක්ෂණික ආශ්චර්යය විශ්වයේ වේගවත්ම වස්තුව වන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x