ලෝකයක් මවිත කළ සිංහල නැට්ටුවා . . .

කිසිදු සිනමා තරුවක් හෝ දේශපාලනඥයෙක් වෙස් තට්ටුවෙන් සැරසී සිටින ගුණයා ගුරුන්නාසේ පමණට සේයාරූවලට නැංවී නොමැත. ඔහුගේ සේයා රූ සතර දිග් භාගයේ නර්තන ශාස්ත්‍රය පිළිබඳ සඟරාවල සහ ජනප්‍රිය සතිපතා පුවත්පත්වල පළ වී ඇත. ඔහුගේ නර්තන ශෛලියෙහි ජීව ගුණය, අනුප්‍රාණය අවශේෂ නර්තනවේදීන් සමඟ සමාන්තර නොවන තුලනය කළ නොහැක්කකි. නර්තනය ඔහුගේ ජීවිතය වැන්න. ඔහු නර්තනයෙහි නියැළෙන විට තම සිරුරේ සියලුම මාංශ පේශීන් නර්තනයේ යෙදෙන්නේ උදය ශංකර් නම් වූ ශ්‍රේෂ්ඨ නර්තනවේදියා අපට සිහිගන්වමිනි.

ගුණයා ගුරුන්නාන්සේගේ දස්කම් අපේ රටටම මෙන්ම මුළු ලෝකයටම හඳුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ මහා පත්‍රකලාවේදී ඩී.බී. ධනපාල මහතාටය. ධනපාල මහතා විසින් 1962 වසරේ ලියූ “Among Those Present” කෘතියෙන් ගුණයාට විශේෂ තැනක් ලැබුණි. අමෙරිකාව, රුසියාව, ජර්මනිය, චෙකොස්ලෝවැකියාව, ඉන්දියාව, චීනය, එංගලන්තය, නෙදර්ලන්තය යන රටවල්වලදී සිය නර්තනයෙන් මවිත කළ මේ අසහාය නැටුම් ශිල්පියා අපේ සිංහල නැටුම යුරෝපීයන්ට හඳුන්වා දුන්නේය.

1905 වසරේ හුන්නස්ගිරි කඳු පාමුල දුම්බර මිටියාවතේ නිත්තවෙල ගම්මානයේ උපත ලැබූ මුල්යද්දෙස්සලා ගෙදර ගුණයා මූලික අධ්‍යාපනය ලැබුවේ වටපුළුව පාසලිනි. ඒ පස්වන කැලැසිය තෙක් පමණි. ඔහු පැවත එන්නේ 6 වැනි බුවනෙක රජුගේ යුගයේ සිටි කීර්තිමත් නැටුම් පරම්පරාවෙකිනි. ඔහුගේ මීමුත්තා වූයේ උඩරට කැරැල්ල මෙහෙය වූ කැප්පෙටිපොල නිලමේ සටන් කළ නිත්තවෙල මහ පනික්කයා බව මාධ්‍යවේදී උලපනේ ගුණසේකරයන් ‘දවස’ පත්‍රයට ලියා තිබුණි. මහනුවර වටපුළුව පාසලේ දී නාථ දේවාලයේ තේවාවට හිමිකම් කියූ නිත්තවෙල පවුලේ අය මහනුවර දළදා පෙරහරේ නැටුම් දැක්වූ බව පැවසේ. 1924 වසරේදී නිත්තවෙල පුරාණ විහාරයේදී ගුණයා මුලින්ම නර්තනයේ යෙදී ඇත. නැටුම් කලාව ඔහුට උරුම කරමින් වෙස් බැඳ ඇත්තේ ලොකු තාත්තා වූ නිත්තවෙල සුරඹා ගුරුන්නාන්සේ විසිනි.

1915දී කුඩා ගුණයා මහනුවර පෙරහරේ නටනු එකල දෙහිවල සත්තු වත්තේ අධිපතිවරයාව සිටි ජෝන් හෝගන්බර්ග් මහතා දැක ඇති අතර මේ යෞවනයා ගැන කොතරම් පැහැදුණා ද යත් ඔහුට ජර්මනිය ගොස් ශිල්ප දැක්වීමට අවස්ථා ලබා දුන්නේය. ප්‍රථම විදේශ සංචාරය එය විය. අමෙරිකානු කලා විචාරකයන් වූ ෆෙබියන් බොවර්ස් සහ බෙරිල් ඩී. සූට් විසින් ලියූ “ලංකාවේ නැටුම් හා යක් නැටුම්” ග්‍රන්ථයේ සඳහන් කළ ආකාරයට “නිත්තවෙල ගුණයා” යන නාමය ලෝකයට ඇතුළත් වූයේ තියටර් ඉන් ද ඊස්ට් නම (පෙරදිග රඟහල) රඟහලේ ශිල්ප දැක්වීම නිසා බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරිපාල තිලකසේන ‘රසවාහිනි’ සඟරාවට ගුණයා ගැන ලියූ ලිපියක අපූරු තොරතුරක් අනාවරණය කර තිබුණි.

ගුණයා එදා ප්‍රසිද්ධ වෙන්දේසියක විකුණනු ලැබුවොත් ඔහු මිල දී ගැනීමට ලෝකයේ පොහොසත් තරුණියන් බරට බර කිරා දෙනු ඇතැයි කිව හැකි තරමට ඔහු කෙරෙහි ප්‍රසාදයක් තිබුණි. 1957 වසරේ රුසියාවේ පැවැත්වුණු ලෝක නැටුම් තරගාවලියට ගිය ගුණයා මහතා වටකර ගත් රුසියානු තරුණියෝ ඒ මහතාගේ ඇඟ පිරිමදිමින් අගය කළහ. නැටුම් පිළිබඳ රන් පදක්කම දිනා ගැනීම ලෙහෙසි පහසු වැඩක් නොවේ. එහෙත් මේ පදක්කම දිනා ගැනීමෙන් නොනැවතුණු ඔහුගේ එකම පුත් ඇන්.ඇම්. සෝමදාස සහ එකම දියණිය ඇන්.ඇම්. අමරාවතීත් රන් පදක්කම් දිනා ගත්හ.

1955 ඔක්තෝබර් බර්ලින් සැණකෙළියේ නැටුම් කණ්ඩායම ගුවන්තොටුපොළින් බැස නවාතැනට ගිය ඇසිල්ලේම රූමත් තරුණ කාන්තාවක් හති දමමින් දිවැවිත් මෙසේ අසා ඇත.

“මේ නැටුම් කණ්ඩායමේ ගුණයා කියා නැට්ටුවෙක් ඉන්නවාද?” එහි සිටියකුගෙන් ඇය විමසුවාය.

ඉන්නවා.

මට ඔහු වහා මුණ ගස්සන්න. එතුමාගෙන් නැටුම් ඉගෙන ගන්නා තුරු මට ඉස්පාසුවක් නෑ. ඇය කීවලු.

මේ තරුණිය ප්‍රංශයේ නැටුම් හා රඟපෑම් ඉගෙනීමට එහි ගොස් සිටි මුද්‍රා නිළියකි. පැරීසියේ සෝබෝන් විශ්වවිද්‍යාලයේ පර්යේෂණවල යෙදී සිටි ලංකාවේ උගත් භික්ෂුන් වහන්සේ නමක් වූ ආචාර්ය වල්පොල රාහුල හිමියන්ගෙන් ඇය ගුණයා මහතා ගැන තොරතුරු දැන අසා ගත්තාය. නැටුම් කණ්ඩායම ජර්මනියේ රොටර්ඩ්‍රෑම් නගරයට පැමිණි බව ඇසූ ඇය තම පියා සමඟ මෝටර් රථය පදවාගෙන රොඩර්ඩ්‍රෑම් නගරයට පැමිණ ඇත්තේ හී සැරයක වේගයෙනි. ඇම්සටර්ඩ්‍රෑම් නගරයේ සිට රොටර්ඩ්‍රෑම් නගරයට දුර සැතපුම් 100ක් ගෙවා ගුණයා මහතා ආ ගිය සෑම තැනකටම පැමිණ ඇය ලංකාවට යනතුරුම නැටුම් ඉගෙන ගත්තා.

1949 වසරේ ගුණයා මහතා භාරතයට ගියේ සැරියුත් මුගලන් ධාතූන් වහන්සේලා ලක්දිවට වැඩමවීම පිළිබඳ උත්සවයට සහභාගි වීම පිණිසය. එහි ගිය ගුණයා ප්‍රමුඛ නැටුම් කණ්ඩායම උදය ශංකර්, රාම් ගෝපාල් වැනි භාරතීය නර්තන විශාරදයන්ගේ පැසසුමට ලක් වූ බව ඉන්දියාවේ පළ වූ ‘ස්ටේස්මන්’ පුවත්පතේ කලා විචාරකයන් සඳහන් කර තිබුණි.

1950 වසරේ දළදා මාලිගාව පසුබිමක නර්තනයේ යෙදෙන ගුණයා ගුරුන්නාන්සේගේ රුව රැගත් ශත 04ක වටිනාකමින් යුත් තැපැල් මුද්දරයක් නිකුත් කර ඇත්තේ එම කලාකරුවාගෙන් අපේ රටට සිදුවූ සේවය අගය කරමිනි. මෙය අගමැති ඩී.ඇස්. සේනානායක මහතාගේ උපදෙස් පරිදි ප්‍රථම වරට රජයක් සිංහල කලාකරුවකුට කළ ඉහළම උපහාරය ලෙස සැලකිය හැකිය. 1950 වසරේ නිදහස් දින උත්සවයේදී විශේෂ සංස්කෘතික සංදර්ශනයක් ගුණයා ගුරුන්නාන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති බව ද වාර්තා වේ.

තමාගෙන් නැටුම් ඉගෙන ගත් සිසුන් අතර අන්තර්ජාතිකයන් බොහෝ වෙතැයි ගුණයා පවසා ඇති අතර ලංකාවේදී තම ශිෂ්‍යයන් අතර හීන්බබා ධර්මසිරි හා චන්ද්‍රලේඛා ගැන ආඩම්බර වී ඇත. 1958 ඉන්දියාවේ ෆිල්ම්ෆෙයාර් චිත්‍රපට සම්මාන උලෙළේ නැටුම් අංගයක් ඉදිරිපත් කළ බව ද ඔහුගේ නර්තන සහිත ඡායාරූප එම සඟරාවේ පළ වී ඇති බවත් රාම් ගෝපාල් විසින් ලියූ ‘ශාස්ත්‍රීය නැටුම් හා ඉන්දීය ආභරණ’ ග්‍රන්ථයේ ගුණයා ගැන විශේෂ පරිච්ඡේදයක් ඇති බව ද පත්‍ර කලාවේදී නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්නයන් සඳහන් කර තිබුණි. 1936 වසරේ නුවර පෙරහරේ නැටුම් දැක් වූ ගුණයා එවකට දෙහිවල පදිංචිව සිටි මහා පත්‍රකලාවේදී ඩී.බී. ධනපාල මහතා ඔහුගේ ගෙදරට කැඳවා එහි නතර කරවාගෙන බම්බලපිටියේ නැටුම් ආයතනයක් පිහිටුවීමට පදනම දැමූ බව පැවසේ. ගුණයා විසින් සමනලවන්නම හා මහබෝවන්නම නැටුම් නිර්මාණය කළේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සූරීන්ගේ එකී වන්නම්වල ගීත රචනා ඇසුරෙනි.

ගුණයාගේ නැටුම් නැරඹූ විශිෂ්ට භාරතීය ලේඛකයකු වූ මුල්ක් රාජ් ආනන්ද් ඔහුට ඉන්දියානු නැටුම් ගැන අගනා උපදෙස් දෙමින් සුහද කතාබහක යෙදී සිටි බව වාර්තා වේ. ජාතික පුවත්පතකින් ගුණයාට ‘කලා ගුරු’ උපහාර ගෞරව නාමයකින් හඳුන්වා ඇත්තේ 1958 නිදහස් දින උත්සවය පිළිබඳව පළ වූ ලිපියකිනි.

ගුණයාගේ ආදරණීය බිරිය සොඳිනා 1975 වසරේ මිය ගිය අවස්ථාවේ කුඩා දරුවකු මෙන් ඇඬූ බව පුවත්පත්වල පළ වී තිබුණි. ගුණයා බිරියගේ වියෝවීමෙන් පසු කාටවත් අත නොපා නර්තනයෙන් විශ්‍රාමගෙන ගොවිබත කරමින් සරල ජීවිතයක් ගත කර ඇත. 1975 වසරේ සැප්තැම්බර් 14 වැනිදා ලංකාවේ ජනාධිපති විලියම් ගොපල්ලව මහතා අතින් ‘ජනාධිපති සම්මානය’ හා රුපියල් පන්දාහක මුදල් ත්‍යාග ලබා ගෙන ඇත.

මේ සම්මානය තුරුලු කරගෙන ලැබුණු මුදල පරිස්සම් කරගෙන මානයෙන් උඩගු නොවී වැස්සේ තෙමී තෙමි නුවරට යන බසයක නැඟී ඇති බව එකල පුවත්පත්වල පළ වී තිබුණි. 1975 වසරේම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ගුණයා කලාකරුවා වෙනුවෙන් අරමුදලක් පිහිටුවා රු.80,000ක් ඔහුට ප්‍රදානය කළ බව මාධ්‍යවේදී සිරිසෝම හෙට්ටිආරච්චි ලියා තිබුණි.

1979 දෙසැම්බර් 23 වැනිදා අභාග්‍යසම්පන්න ලෙස ලොවක් මවිත කළ ගුණයා ගුරුන්නාන්සේ භූමිතෙල් කුප්පියක් පෙරළී ඇති වූ ගින්නකින් ඇඳි වතට ගිනි ඇවිළී මිය ගිය පුවත කලා ලොවටම සංවේගයක්ම විය.

  • ඒ.ඩී. රන්ජිත් කුමාර

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැසිල්-නාමල් දෙදෙනාම ජනාධිපතිවරණයට . . .

Sun Dec 24 , 2023
නාමල් රාජපක්ෂ සමග පසුගියදා පසුපෙල මන්ත්‍රීවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පැවැත්වුනේ මලලසේකර මාවතේ ඔහුගේ නිවසේදීය. ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම්කල මාධ්‍ය කිහිපයක පලවී තිබිණි. ඇයි ධම්මික පෙරේරා ඉල්ලන්නෙ ඔබතුමාට ඉල්ලන්න පුළුවන්නෙ ජනාධිපතිවරණයට නාමල්ගෙන් එක් මන්ත‍්‍රීවරයෙක් ඇසීය. ‘ඉස්සෙල්ලා අපි පක්ෂය හදාගන්න ඕනෙ. පක්ෂය කිවුවොත් එහෙම ජනාධිපතිවරනයට නෙවෙයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x