තක්සේරු මුදලට අඩුවෙන් ‘විසුම්පාය‘ දෙන්නේ නැහැ . . .

රජයේ තක්සේරු මුදලට වඩා අඩුවෙන් විසුම්පාය ගොඩනැගිල්ල කිසිවිටෙකත් ආයෝජකයන්ට ලබා නොදෙන බව ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවට අඩුවෙන් විසුම්පාය ආයෝජකයෙකුට ලබා නොදීමට නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල තීරණයක් ද තිබෙන බවයි.

රුපියල් බිලියන 8 වටිනා විසුම්පාය රජයේ තක්සේරුව නොතකා රුපියල් බිලියන 4ට ආයෝජකයෙකුට ලබා දීමට සූදානම් වන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (09) පාර්ලිමේන්තුවේ කළ චෝදනාවකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.

ඇමති ප්‍රසන්න රණතුංග සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර මෙහිදී ඇති වූයේ මෙවැනි සංවාද තත්වයකි.

කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (09) දින රැස්විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස –

නාගරික සංවර්ධන අධිකාරියට අයත් විසුම්පාය ආයෝජනයක් සදහා ලබා දෙන්න සූදානමක් තියෙනවා. ඒකේ තක්සේරුව රුපියල් බිලියන 8ක්. බිලියන 8ක් වටින විසුම්පාය දැන් විකුණන්න හදනවලු බිලියන 4 කට. ඒකට ඔබතුමාගේ සම්බන්ධයක් නෑ. වෙනම තැරැව්කරුවන් පිරිසක් වැලුවේෂන් එක නොතකා අඩු මුදලකට විසුම්පාය විකුණන්න හදනවලු. සෙත්සිරිපාය, සුවසිරිපාය, සව්සිරිපාය, ඉසුරුපාය මේ යනාදී රාජ්‍ය ගොඩනැගිලි එදා බිහිවුණේ රණසිංහ ප්‍රේමදාස ගේ කාලය තුළයි. මේව විකුණන එකෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී. පො. පෙ) –

අපි වගකීමෙන් කියනවා රජයේ තක්ෂේරු මුදලට අඩුවෙන් කිසිම අවස්ථාවක විසුම්පාය අපි කාටවත් දෙන්න ලෑස්ති නෑ. එහෙම දෙන්න හැකියාවකුත් අපිට නැහැ. ආයෝජකයෙක් ඇවිල්ලා චාර්ටඩ් වැලුයුවර් කෙනෙක් හරහා එයාගේ පොපර්ෂල් එකත් එක්ක ඉල්ලීමක් ඉදිරිපත් වෙලා තිබුණා. ඒ ඉදිරිපත් කරනකොට චාටර් වැලුවර් දීපු ගානයි අපේ වැලුවේෂන් දෙපාර්තමේන්තුව දීපු ගානයි ඒ වගේ තුන් ගුණයක්. රජයේ වැලුයුවේෂන් එකේ ගණන වැඩියි. චාර්ටඩ් වැලුයුවර් දීපු ගණන අඩුයි. ඒ ආයෝජකයා ඉල්ලීමක් කරලා තිබුණා එයාට නැවත මේක අධ්‍යයනය කරන්න ඕන ඒක නිසා ඒ සදහා අවස්ථාව දෙන්න කියලා. විසුම්පාය අපිට සංවර්ධනය කරන්න බැහැ. ඒ හින්දා අපිත් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවට දීල තියෙනවා මේ සම්බන්ධව සාකච්ඡා කරලා කටයුතු කරන්න කියලා. ඒ අනුව ආයෝජකයාට අපි තවත් මාස 6 ක් යල් දීලා තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලය තීන්දුවක් අරන් තියෙනවා රජයේ වැලුවේෂන් දෙපාර්තමේන්තුවේ වැලුවේෂන් එකට අඩුවෙන් ඒක කරන්නම බැහැ කියලා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස –

මම ඔබතුමා සම්බන්ධයි කියුවේ නැහැ. නමුත් මේ ගැන ඔබතුමා නොදැන විසුම්පායේ ජාවාරමක් සිදු වෙන්න පුලුවන්. මං ඒගැන වැඩි විස්තර ඔබතුමාට පස්සේ කියන්නම්.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලංකාවේ ලොකුම පීට්සා එක මීගමුවේ දී . . .

Fri Feb 9 , 2024
අදට (09) යෙදී ඇති ලෝක පීට්සා දිනය නිමිත්තෙන් මීගමුව , ඒත්තුකාළ ප්‍රදේශයේ පිහිටි ටුක් ටුක් වයින් ඇන්ඩ් ඩයින් හෝටලය ලංකාවේ විශාලතම පීට්සාව එම හෝටල් පරිශ්‍රයේ දී නිර්මාණය කිරීමට පියවර ගෙන තිබුණි . අගල් 50 දිග මෙම පීට්සා එක කිලෝ ග්‍රෑම් 12 ක බරකින් යුක්ත වෙයි. මෙම පීට්සා ව නිර්මාණය කිරීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x