කෝට්ටේ – නාවල යා කරන අලුත්ම පාර . . .

රටක සංවර්ධනය ඉහළ යාමට නම් එරට අධ්‍යාපනය, සෞඛ්‍යය හා මහාමාර්ග යන අංශ තුන අනිවාර්යයෙන්ම දියුණු තත්ත්වයක පැවතිය යුතුමය. අපේ රටේ සාක්ෂරතාව ඉහළ මට්ටමක තිබුණ ද මහාමාර්ග නම් කාලාන්තරයක් තිස්සේ තිබුණේ ඉබි ගමනකය.

අධිවේගී මාර්ග හා ගුවන් පාලම් සංකල්ප ගෙන ආව ද වරින් වර එම කටයුතු ද අඩාළ වී ගියේය. ඒ ලෙසින් අඩපණ වූ තවත් ගුවන් මාර්ගයක් වූයේ නාවල – අංගම්පිටිය ගුවන් පාලම් මාර්ගයයි.

2019/2020 වකවානුවේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මූලිකත්වයෙන් මෙහි වැඩ ඇරඹුණේ ප්‍රදේශයට සම්බන්ධ ඇතැම් විපක්ෂ දේශපාලනඥයන්ගේ ව්‍යාජ බිල්ලන් මවාපෑම්ද සහිතවය.

පරිසර සංවේදී කලාපයක් වන බැවින් කෝට්ටේ හා නාරාහේන්පිට යා කිරීමේ මාර්ගයක් නාවල – අංගම්පිටිය හරහා ඉදි කිරීම කිසිසේත්ම සුදුසු නොවන බවට එම බිල්ලන් මවාපාන්නන්ගේ කතා අතර විය.

එහෙත් මේ මාර්ගය කොලොන්නාව ඇළ හරහා ගුවන් මාර්ගයක් ලෙස ඉදි කිරීමට කටයුතු යොදා තිබූ බව එම බිල්ලන් මවා පෑ අය නොදැන සිටින්නට ඇත.

එම පාලමට මිලියන 1500ක් වැය කර වැඩ කටයුතු ආරම්භ කරන ලද්දේ නවීනතම තාක්ෂණය අනුව කොන්ක්‍රීට් පෙර සවි බීම් විශේෂ කොන්ක්‍රීට් ප්‍රවාහන මාර්ගයක් මඟිනි. පාලමේ වැඩ කටයුතු අතරමඟ ඇනහිටියේ කොවිඩ් වසංගතය පැමිණීමත් සමඟය. අතිවිශාල වියදමක් දරා වැඩ කටයුතු නිම වෙමින් පැවතුණ ද එයින් පසුව වසර 4ක් පමණ කාලයක් මේ පාලමේ වැඩ කටයුතු මුළුමනින්ම ඇනහිටියේ ඉදිරියට කොන්ක්‍රීට් කණු පේළි 6ක කොටසක් පමණක් එනම් තවත් කොන්ක්‍රීට් බීම් 60ක් පමණක් ස්ථාපිත කිරීමට තිබියදීය.

වසර 4ක පමණ කාලයක් එසේ ඉදි කිරීම් අතරමඟ නැවතී තිබූ නාවල – අංගම්පිටිය පාලමේ ඉදි කිරීම් යළි ආරම්භ කළ යුතු බවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ විසින් අවස්ථා කිහිපයකදී පෙන්වා දී තිබුණි. මේ පාලම ඉදි කිරීමට සැලසුම් කළ අවස්ථාවේ සිට ඒ වෙනුවෙන් ඔහු දැඩිව ඇප කැප වී වැඩ කටයුතු කළේ බිල්ලන් මවා පානා ලද විපක්ෂයේ දේශපාලකයන් සමඟ පවා ගැටෙමිනි. මේ පාලම ඉදි කිරීම තුළින් සිදු වන පරිසර විනාශ මෙන්ම අවට ප්‍රදේශය ද දැඩි ලෙස අනාරක්ෂිත මෙන්ම අවිධිමත් ඉදි කිරීම් කරා යන බවට වූ බිල්ලන් සමග ගැටෙන්නට ද මධුර විතානගේ මන්ත්‍රීවරයාට සිදු විය.

එහෙත් ඔහුට එම බිල්ලන් පරාජය කරන්නට හැකි වූයේ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් එම පාලමේ වැඩ කටයුතු කඩිනම් කර ඉදි කිරීම වෙනුවෙන් අදාළ ඉතිරි මුදල් අමාත්‍ය මණ්ඩලය හරහා අනුමත කර ගැනීම නිසාය.

බත්තරමුල්ල පිටකෝට්ටේ මාර්ගය සහ නාවල – රාජගිරිය සම්බන්ධ කරමින් නාවල රාජගිරිය ඇළ (කොලොන්නාව ඇළ) හරහා ඉදි කෙරෙන නාවල – අංගම්පිටිය පාලමේ මේ වන විට ඇනහිට පවතින ඉදි කිරීම් අවසන් කිරීම සඳහා මෙවර අය වැයෙන් රුපියල් මිලියන 900ක මුදලක් වෙන්කර ගන්නා ලදි. ඒ අනුව පාලමේ අවසන් අදියරේ ඉදි කිරීම් ආරම්භ කිරීම නිරීක්ෂණය සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු නිලධාරීන් පිරිසක් ඉදි කිරීම් සිදු කෙරෙන පරිශ්‍රයේ නිරීක්ෂණයකට එක් විය. ඒ අනුව මේ පාලමේ ඉතිරි වැඩ කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවට ඇමැතිවරයා විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ සහ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ (SD & CC) නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි.

මීටර් 700ක දිගින් යුතු මෙම පාලමේ පළල මීටර් 10.4 කි. එහි ඉදි කිරීම් සඳහා ඇස්තමේන්තු ගත සමස්ත පිරිවැය රුපියල් මිලියන 2600ක්‌ විය.

කොවිඩ් සමයට පෙර එහි වැඩ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 1500ක් වියදම් කර එහි වැඩ කටයුතු සිදු කර තිබුණි.

මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක මේ ව්‍යාපෘතියේ ඉදි කිරීම් කටයුතු සිදු කරන්නේ රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව (SD & CC) විසිනි. දේශීය රාජ්‍ය ආයතනයක් හරහා මේ ඉදි කිරීම් සිදු කිරීම විදේශ කරා ඇදී යන අපේ මුදල් ඉතිරි කර ගැනීමක්ද වන්නේය‍.

මේ පාලම ඉදි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ (SD & CC) සභාපති කුෂාන් දේවින්ද පැවසුවේ මේ ඉදි කිරීම තුළින් රටට අංශ කිහිපයකින් වාසි සැලසෙන බවයි.

‘‘සමහරු හිතන්නෙ අලුතින් පාලමක් ඉදි කිරීම සාමාන්‍ය දෙයක් ලෙසින්. නමුත් නාගරිකව මේ වගේ පාලමක් ඉදි කරනව කියන්නෙ. එම නගරය හා ආශ්‍රිතව ඇති විශාල මාර්ග තදබදයක් දුරු කිරීමයි. ඒ හරහා ජනතාවගේ වටිනා කාලය ඉතිරි වනවා පමණක් නෙමෙයි රටින් ඉන්ධන ආනයනයට ඇදී යන විශාල විදේශ විනිමය ප්‍රමාණයකුත් අපට ඉතිරි වනවා.

මීට හොඳම උදාහරණයක් තමයි ගාලු පාරට සමාන්තරව ඉදි කළ ‘මැරේන් ඩ්‍රයිව්‘ මාර්ගය. ඒ පාරේ වැඩි වශයෙන්ම යන්නෙ සැහැල්ලු වාහන, එය අනුමත බස් රථ මාර්ගයක් නෙමෙයි.

බම්බලපිටිය දුම්රිය ස්ථානය අසල පාලම ඉවත් කිරීම සඳහා එක දවසයි ඒ පාර වැහුවෙ. එදා ගාලු පාරෙ තිබුණු රථවාහන තදබදය නිසා අපට පොලිසියෙන් විතරක් නෙමෙයි, විවිධ අංශවලින් රටේ ඉහළම තැන්වලින් පවා දුරකථන ඇමතුම් ආවා. පැය ගණනක් යන කල් ඒ මාර්ගයේ අධික රථවාහන තදබදයක් තිබුණා. නමුත් ඒ වගේ විශාල සේවයක් ඒ මාර්ගය හරහා ලබා දෙන බවක් බැලූ බැල්මට පෙන්නෙ නැහැ.

ඒ වගේ තමයි මේ නාවල – කෝට්ටෙ මාර්ගයත්. මේ වෙනකොට විශාල රථ වාහන තදබදයක් කෝට්ටෙ, බත්තරමුල්ල, නාවල, නාරාහේන්පිට ආශ්‍රිතව තියෙනවා. විශේෂයෙන්ම උදේට සහ හවසට. ඒ සම්බන්ධව වාර්තා අරගෙන තමයි මේ වගේ පාලමක අවශ්‍යතාව මතුව තිබුණෙ. ඒ අවශ්‍යතාව අනුව තමයි මේ පාලම ඉදි කිරීම ආරම්භ වුණේ.

විශේෂයෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගය හා කොළඹ පිටත වටරවුම් මාර්ගය ඉදි කිරීමෙන් පස්සෙ කොට්ටාවෙන් හා අතුරුගිරිය හුවමාරුවලින් පිටතට පැමිණෙන වාහන නිසා අධික වාහන තදබදයක් තියෙනවා. විශේෂයෙන්ම බත්තරමුල්ල, තලවතුගොඩ, කෝට්ටෙ ප්‍රදේශ හරහා තමයි ඒ අධිවේගයේ පැමිණෙන වාහන වැඩි සංඛ්‍යාවක් ගමන් කරන්නෙ.

මේ නිසා නාවල, කෝට්ටෙ අවට ප්‍රදේශවල ජනතාවට තම ගමන් බිමන් යන්නත් උදෙන්ම යන්න සිදු වෙලා තියෙන්නෙ.

අංගම්පිටිය පාලම ඉදි කිරීමෙන් පසුව මේ රථ වාහන තදබදය විශාල ලෙසින් අඩු කරගන්න පුළුවන් වෙනවා. කෝට්ටෙ සිට නාවල පාසල් මාවත හරහා කිරිමණ්ඩල මාවතෙන් නාරාහේන්පිට දක්වා යන්න පුළුවන්.

දිගම ගුවන් පාලම ලෙසින් ඉදි වන මේ පාලම සම්පූර්ණයෙන්ම කුලුනු මත ඉදි වෙන්නෙ. ඒ කුලුනු මත ඉදි කිරීම නිසා කිසිදු ආකාරයක පරිසර හානියක් සිදු වන්නේ නැහැ. විශේෂයෙන්ම වගුරු බිම් හරහා ඉදි වන මේ පාලම නාවල ඇළ (කොලොන්නාව ඇළ) හෝ අවට භූමීන්ට කිසිදු ලෙසකින් හානිවන ලෙසින් ඉදි කර නැහැ. ගුවන් මාර්ගයක් වන හෙයින් පරිසර හානි සිදු වීමක් කිසිසේත්ම සිදු වන්නේ නැහැ.

මේ පාලම ඉදි කිරීම වෙනුවෙන් අපි විශේෂ ‘බීම් ලොන්චර්‘ ඒ කියන්නෙ කොන්ක්‍රීට් බීම් පාලම මතම සිට ඉදිරියට ගෙන යාමට හැකි යන්ත්‍ර විශේෂයක් මැලේසියානු සමාගමකින් කුලියට අරගෙන තිබුණා. ඒ වෙනුවෙන් ගෙවන්නට සිදු වන කුලිය අඩු කර ගැනීම පිණිස ඉක්මනින් මිලියන 150ක වියදමකින් ඉතිරිව තිබුණු පාලමේ කණු දැමීම අවසන් කර ඒ යන්ත්‍ර ආපසු ඒ සමාගම වෙත ලබා දුන්නා. නැත්නම් ඒ යන්ත්‍ර තිබෙන තෙක් අප ඒ වෙනුවෙන් කුලිය ගෙවිය යුතුව තිබුණා.

පාලම ඉදි කිරීමෙන් පසුව අංගම්පිටිය පිවිසුමට දෙපසකින් පැමිණිය හැකි නිසා මාර්ග දෙකින් එක් මාර්ගයක් පැමිණීමටත් අනෙක් මාර්ගය පිටවීමටත් යොදා ගැනෙන අතර ඒ පරිද්දෙන්ම පාසල් මාවත පිවිසුමට ද මාර්ග දෙකක් තිබෙන නිසා එම පෙදෙසටද එක් පසෙකට ගමන් කළ හැකි පරිදි මාර්ග දෙක වෙන් කිරීමට කටයුතු කරන හෙයින් මාර්ග තදබදයක් ඇති නොවන පරිදි පාලමට පිවිසෙන මාර්ග දෙකම එක් පසෙකින් පැමිණීමටත් නෙක් පසින් යෑමටත් හැකිවන පරිදි පහසුව සැලසෙනවා.

මේ මාර්ගයේ බරවාහන ගමන් කළ හැකි වුණත් අපි බලාපොරොත්තු වන්නේ සැහැල්ලු වාහන ගමන් කිරීම පමණයි. මේ වන විට ඉංජිනේරුවන් 06 දෙනකු ඇතුළත්ව 30 දෙනකු පාලමේ වැඩ කටයුතු කඩිනම් කිරීම පිණිස සේවයේ යොදවා තියනවා. අපි මාස 5ක් ඇතුළත ඉතිරි වැඩ කටයුතු නිම කරනවා. ඇත්තෙන්ම දැන් ඉතිරිව තියෙන්නෙ මාර්ගය කොන්ක්‍රීට් කිරීම හා දෙපස ඉදි කිරීම පමණයි‘‘

පසුගිය පෙබරවාරි 8 වෙනිදා මේ පාලමේ වැඩ කටයුතු යළි ආරම්භ කිරීම වෙනුවෙන් කෙටි උත්සවයක් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ මූලිකත්වයෙන් සිදු විය. පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ.

යළි ඉදි කිරීම් ආරම්භ කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමට සහභාගි වූ ඇමැතිවරයා එහි වැඩ කටයුතු කඩිනමින් නිම කිරීමට ඇති අවශ්‍යතා මොනවාදැයි සොයා බලන්නට විය. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ කෝට්ටේ ප්‍රදේශයේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් සකස් කරන ලද සැලසුමකට අනුව පරිසර හිතකාමී ආකාරයෙන් කුලුනු මත ඉදි වන පාලමක් ලෙස මෙම පාලම ඉදි කිරීම ආරම්භ කරනු ලැබූ බවයි.

‘‘ කෝටි 170ක් පමණ මුදලක් වැය කර පාලමේ ඉදිකිරීම් සිදු කරගෙන යන අතරතුර රට මුහුණ දුන් කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ මෙම ඉදි කිරීම් සම්පූර්ණයෙන්ම නතර වුණා.

විෂය භාර අමාත්‍යවරයා ලෙස අවස්ථා කිහිපයකදී මෙම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව වත්මන් ජනාධිපතිතුමා වෙත විශේෂ කරුණු දැක්වීමක් සිදුකර මෙම ව්‍යාපෘතියේ අවසන් අදියරේ පවතින කටයුතු නිමාවට පත් නොකිරීම විශාල අපරාධයක් බව පෙන්වා දුන්නා.

අතිවිශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින රටක් වශයෙන් රට එදිනෙදා පවත්වා ගෙන යා හැකි මට්ටමේ ආදායමක් මෙතෙක් පැවති කිසිදු රජයකට ලැබී නැහැ. එම නිසාම දීර්ඝ කාලයක් තිස්සේ පුනරාවර්තන වියදම පියවා ගත නොහැකි රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. නිදහසින් පසු මේ දක්වා රජයේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් පැවතී තිබෙන්නේ වසර හයක් පමණයි. එම නිසා රටේ සෑම සංවර්ධන ව්‍යාපෘතියක්ම සිදු කර තිබෙන්නේ දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීමෙන්.

ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය, මුදල් අමාත්‍යාංශය, විදේශීය විශේෂඥයන් එක්ව ක්‍රියාත්මක කළ ණය ආපසු ගෙවීම සඳහා අදාළ රටවල් සහ සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ එකඟතාවන්ට එළැඹීමේ වැඩපිළිවෙළ අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව නතර වී තිබුණු සංවර්ධනය නැවත ආරම්භ කිරීමට හැකියාව ලැබෙනවා.

මෙම වසර තුළ නිම කළ කටයුත්තක් වශයෙන් මෙම පාලමේ ඉදි කිරීම් අවසන් කිරීමට රුපියල් කෝටි අනූවක මුදලක් මෙවර අය වැයෙන් ජනාධිපතිතුමා විසින් අනුමත කර දී තිබෙනවා. ඒ අනුව මේ මෙම පාලමේ අවසන් අදියරේ ඉදි කිරීම් මෙලෙස ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙනවා. එළඹෙන ජූලි මාසය අවසන් වන විට මෙම පාලම පොදු ජන අයිතියට පත් කිරීමට කටයුතු කරනවා. ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය සහ දායකත්වය අඛණ්ඩව අවශ්‍ය වෙනවා.”

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝට්ටේ සංවර්ධන කමිටු සභාපති නීතිඥ මධුර විතානගේ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාගරික කොමසාරිස් ශාලිකා රණවීර, රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ද මේ අවස්ථාවට පැමිණ සිටියහ.

පාලමේ ඉදි කිරීම අවසන් වීමෙන් පසුව කෝට්ටේ සිට නාරාහේන්පිට දක්වා යාමට ගත වූ විනාඩි 30ක් පමණ වන කාලය විනාඩි 10ක් පමණ දක්වා අඩු වනු ඇත. එමෙන්ම කෝට්ටේ සිට කිලෝමීටර් 7.5කට ආසන්න දුරක් ගෙවා නාරාහේන්පිට දක්වා යා යුතු වූ දුරද අඩකටත් වඩා අඩුවනු ඇත.

මේ කරුණු දෙස විමසුම් ඇසින් බැලූ විට අපට පෙනී යන්නේ අංගම්පිටිය පාලම යනු එතෙර වීමට තනන ලද තවත් පාලමක් පමණක් නොවන බවයි. ප්‍රධාන වශයෙන්ම රථවාහන තදබදයකට ලබා දුන් එක් විසඳුමකි. තවත් අතෙකින් දේශීය තාක්ෂණය උපයෝගී කරගෙන රටට විදේශ විනිමය ඉතිරි කර ගැනීමකි. එමෙන්ම ඉදිරියේදී මේ පරිසර සංවේදී කලාපය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු යෙදෙනු ඇත. මේ ඉදි කිරීම් ආරම්භ කිරීමට පෙර අවශ්‍ය පරිසර අනුමැතීන් පවා ලැබී ඇත. එසේ ලැබී ඇත්තේ අදාළ නිර්ණායක පරිසර අධිකාරිය විසින් සොයා බැලීමෙන් අනතුරුවය.

පාලම සම්පූර්ණයෙන්ම කණු මතින් ඉදිව ඇත. ඒ නිසා කිසිදු ආකාරයක පරිසරයට ගැටලුවක් ඇති නොවේ. එමෙන්ම කොළොන්නාව ඇළ සම්පූර්ණයෙන්ම ජලජ පැළෑටිවලින් අපවිත්‍ර වී ඇත. එම ජලාශය ද ඉදිරියේදී මේ හරහා පිරිසිදු වනු ඇත.

අංගම්පිටිය පාලම අසල සිට බැලූ කල කිසිසේත්ම කොළඹ වැනි කාර්යබහුල නගරයක සිටින බවක් නොතේරෙ. එය රජරට අඩවිය සිහි ගන්වන පරිසරයකින් යුක්තය.

ඉදිරියේදී වාහන ගමනාගමනය අධික වීමේදී එම සංවේදී පරිසර කලාපයට හෝ ගැටලුවක් ඇති නොවන්නේ පාලම සම්පූර්ණයෙන්ම කණු මත ඉදිකර ඇති නිසාය. මෙවන් පාලමක් ඉදි කරනු ලබන බව එම ප්‍රදේශයේ බොහෝ දෙනා පවා නොදැන සිටීමද මෙහිලා පැවසිය යුතුමය.

  • තාරක වික්‍රමසේකර
  • සුදත් නිශාන්ත හා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

07වැනි නාවික හමුදාධිපති දැයෙන් සමු ගනියි . . .

Sun Feb 18 , 2024
ශ්‍රී ලංකා නාවික හමුදාවේ හත්වන (07) නාවික හමුදාධිපති වශයෙන් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු වූ අද්මිරාල් බැසිල් ගුණසේකර ඊයේ (17) අභාවප්‍රාප්තවී තිබේ. 1951 වර්ෂයේ ජූලි මස 23 වන දින රාජකීය ලංකා නාවික හමුදාවේ උපන් ලුතිනන් වරයෙක් ලෙස අධිකාරියට පත්ව ඇති මෙතුමා 1973 ජුනි මස 01 වන දින සිට 1979 මැයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x